එකම රටක් එකම නීතියක් – කෙටි පැහැදිලි කිරීමක්

රටේ උත්තරීතර නීතිය වූ රාජ්‍යය ව්‍යවස්ථාව මුළු මහත් රටටම එකකි. ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය ද මුළු මහත් ප්‍රජාවටම එකසේ ක්‍රියාත්මක වන එකම නීති පද්ධතියකි. මෙහි කිසිදු වාර්ගික හෝ ආගමික පදනමකින් වෙනස් පිළිවෙත් දකින්නට නොමැත. සිවිල් නීති පද්ධතියේ අපට වෙනස් පිළිවෙත් දැකිය හැක. සිවිල් නීතියේ වෙනස්කම් තිබීම අප රටට පමණක් සීමාවූ සංසිද්ධියක් ද නොවේ. ලොව බහුතර රටවල් හි සිවිල් නීතියේ වෙනස්කම් දකින්නට හැකිය. මෙම සිවිල් නීතියේ වෙනස්කම් සඳහා  රටේ උත්තරීතර නීතිය වූ රාජ්‍යය ව්‍යවස්ථාවෙන් ම ප්‍රතිපාදන සලසා දී ඇත. 

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  III වැනි පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් පිළිබඳ කොටසේ 10 හා 14 (1)  වැනි වගන්තීන් හි පහත සඳහන් අයුරු සටහන් කොට ඇත.  

3 – 10”සෑම තැනැත්තෙකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේ ය”.      

3 – 14. (1) “සෑම පුරවැසියකුටම –  ( ඉ)  එකලාව හෝ අන් අය හා සමග, ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට;  ( ඊ)  එකලාව හෝ අන් අය හා සමග හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විඳීමේ හා වැඩි දියුණු කිරීමේ නිදහසට සහ ස්වකීය භාෂාව භාවිත කිරීමේ නිදහසට;  හිමිකම ඇත්තේ ය”.

ඉහතින් උපුටා දැක්වූ දහම පිළිබඳ සඳහන් ව්‍යවස්ථානුගත මුලික අයිතිවාසිකම් අනුව එම අයිතිවාසිකම් නෛතික පදනමකින් ක්‍රියාත්මක කිරීම උදෙසා සිවිල් නීති සකස් කිරීම සාමාන්‍යය සම්ප්‍රදායකි. මේ අතුරින් විහාර හා දේවාලගම් පනත සකස් කිරීමට යෙදුණේ මෙහි එක් පියවරක් ලෙසිනි. වර්ෂ 1905 දී පමණ බෞද්ධ විහාර හා දේවාලගම්  පනතේ විධිවිධානයන්ගෙන් බෞද්ධ විහාර හා දේවාලගම්වලට සෑහෙන පමණ ආරක්ෂාවක් නොලැබී තිබෙන බැවින් ද එබඳු බෞද්ධ විහාර හා දේවාලගම්වලට සෑහෙන පරිදි ආරක්ෂාවක් ලැබෙන ලෙස  ඒ පිළිබඳ පාලන සංවිධාන ක්‍රමයක් සැලසිම යෝග්‍ය යැයි තීරණය කිරීමෙන් අනතුරුව  නීතිදායක මන්ත්‍රණ සභාවේ අනුශාසනයෙන් සහ අනුමැතිය පරිද්දෙන් 1931 අංක 19 දරණ  බෞද්ධ විහාර හා දේවාලගම් ආඥා පනත 1931ක් වූ ජුනි මස 26 වන දින දී ලංකා ආණ්ඩුකාරවරයා විසින් ගෙන එන ලදී. මෙය සංශෝධන සහිතව මෑතක දී නැවත පාර්ලිමේන්තුවේ දී නීතියක් වශයෙන් සම්මත කර ගන්නා ලදී. බෞද්ධ විහාර හා දේවාලගම් ඉඩම් සම්බන්ධ ව කටයුතු කිරීම පිණිස මෙම නීතිය අවශ්‍යය බව අප සැම විසින් පිළිගත යුතු ව ඇත. රටේ පවතින සැමට පොදු වූ ඉඩම් නීතිය අනුව මෙම කටයුතු කළ නොහැක්කකි. මෙයින් පැහැදිලි වන්නේ සිවිල් නීතිය සමාජ අවශ්‍යතාවන් අනුව විවිධ විය හැකි බවකි. එය සැමට අදාළ වන පරිදි එකම සිවිල් නීතියක් බවට පත්විය නොහැක.

උඩරට නීතිය තවත් එවැනි උදාහරණයකි. දැනට වලංගුව පවතින 1952 අංක 44 දරණ උඩරට විවාහ හා දික්කසාද පනත මුළු රටේම ක්‍රියාත්මක විවාහ හා දික්කසාද නීතියෙන් බොහෝ දුරට වෙනස් වුවකි. උඩරැටියන්ට පමණක් බලපවත්වන උඩරට නීති ප්‍රකාශනය 1938 අංක 39 දරන ආඥාපනතින් නීතිගත කොට ඇති අතර 1944 අංක 25 දරන ආඥාපනතින් සංශෝධනය ලක් කොට ඇත. මෙම ආඥාපනතින් 1. දේපල පැවරීම, 2. දරුකමට හදා ගැනීම, 3. විවාහය, 4. නිශ්චල දේපල උරුමවීම, 5. චංචල දේපල උරුම වීම හා 6. සාමාන්‍ය කරුණු යන ශීර්ෂ හයක් යටතේ නෛතික විධිවිධාන සලසා ඇත. උඩරට නීතිය අනුව විවාහවීම සඳහා පිරමී අයෙකුගේ වයස අවුරුදු 16ක් ද, ගැහැණු කෙනෙකුගේ වයස අවුරුදු 12ක් ද සම්පුර්ණ වී තිබිය යුතුය. එසේ වුව ද වයස 18 ට අඩු පිරිමින් සහ වයස 16 ට අඩු ස්ත්‍රීන් සලකනුයේ බාලවයස් කරුවන් ලෙසිනි. ඒ අනුව විවාහයට ඇතුළත් වීමට නිසි වයස සම්පුර්ණ කොට තිබුණ ද ඔවුන් බාලවයස්කරුවන් නම් ඔවුන්ගේ විවාහය සඳහා බලයලත් අයෙකුගේ අනුමැතිය ද ලබා ගත යුතුව ඇත. මෙම කරුණු අනුව ද සිවිල් නීතිය මුළු රටටම එකක් ලෙසින් තිබෙන්නක් නොවන බව නොවේ ද?

‘තේසවලම’ නීතිය රටේ පොදු සිවිල් නීති ප්‍රවාහයෙන් භාහිර ව ක්‍රියාත්මක් නීති පද්ධතියකි. ‘තේස’ යනු ප්‍රදේශයයි. ‘වලම්’ යනු චාරිත්‍රයන් ය. තෙසවලම් නීතිය දැනට බලපාන්නේ උතුරු පළාත නිත්‍යවාසය කොට ගත් ද්‍රවිඩ ජනතාවට හා ඒ පළාතේ පිහිටි ඉඩම් පිළිබඳ ව ය. 1806 අංක 18 දරන රෙගුලාසිය මගින් තේසවලම නීතිය ව්‍යවස්ථා ගත කරන ලද අතර 1869 අංක 5 දරන ආඥාපනත මගින් එය නීති පද්ධතියට එකතු කරන ලදී. 

ඉහත සියළු කරුණු ඉතා මධ්‍යස්ථ ලෙසින් විමසා බැලීමේ දී පෙනී යන ඉතාම පැහැදිලි සත්‍යය නම් අපරාධ නීතිය රටවැසියන් සැමට පොදු වුවක් වුව ද සිවිල් නීතිය එවැන්නක් නොවන බවයි. මුස්ලිම් වරුන්ට අදාළ නීති පිළිබඳ ව සාකච්ඡා කිරීමේ දී ඉතා සටකපට අයුරින් සත්‍යය වසංකොට මුස්ලිම්වරුන් රටේ නීතියට අවනත නොවන එමෙන් ම ඔවුන්ටම අදාළ නීති සකස් කර ගෙන ජීවත් වන්නට උත්සාහ දරන පිරිසක් ලෙසින් හුවා දැක්වීමට කටයුතු කිරීම ඉතා පිළිකුලෙන් ප්‍රතික්ෂේප කළ යුත්තක් ව ඇත. රටේ උත්තරීතර නීතිය අනුව සකසා දී ඇති ආරම්භයේ උපුටා දැක්වූ මුලික අයිතිවාසිකම් අනුව මුස්ලිම්වරුන් පිළිබඳ ව ද සිවිල් නීති කිහිපයක් පාර්ලිමේන්තුවේ සම්මතයෙන් ක්‍රියාත්මක වෙයි. 

මුස්ලිම්වරුන් අතර විවාහ සම්බන්ධකම් ඇති කිරීම සහ ඔවුන් අතර පවතින විවාහයක් දික්කසාද කිරීම සම්බන්ධයෙන් ඉස්ලාමීය මඟ පෙන්වීමට අනුකූල නීතිමය ප්‍රතිපාදන ව්‍යවස්ථා කොට ඇත්තේ 1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත මගින් ය. 1954 අංක 31, 1955 අංක 22, 1965 අංක 1, 1965 අංක 5, 1969 අංක 32 හා 1975 අංක 41 දරණ පණත් මගින් මුල් පනත වරින්වර සංශෝධනය කොට ඇත. වර්තමානයේ සාකච්ඡා වෙමින් පවතිනු යේ ද මෙම පනත සඳහා වූ සංශෝධනයන් පිළිබඳ ව ය. 

අප ජීවත් වන්නේ බහු වාර්ගික හා බහු ආගමික සමාජයකයි. මෙම සමාජ ස්තරයන්ට ආවේනික වූ චර්යාවන් හා ක්‍රියාකාරකම් ඇත. උදාහරණයක් ලෙස ගත් විට ඉස්ලාමිකයින් ඌරු මස් අනුභව නොකරති. එහෙත් කිතුනුවන්ගෙන් බහුතරයක් හා බෞද්ධයින්ගෙන් සුළුතරයක් ඌරු මස් අනුභව කරන්නන්ව සිටිති. බහු ආගමික සමාජයක ඉස්ලාමිකයින්ගේ චර්යාවට මෙය පටහැනි බව පවසා ඌරු මස් අනුභවය තහනම් කරන ලෙස ඉල්ලීමට සදාචාරාත්මක අයිතියක් ඉස්ලාමිකයින්ට තිබේද? බහු ජනවාර්ගික හා බහු ආගමික සමාජයක එක් එක් සමාජ ස්තරයන්ගේ  චර්යාවන් හා වත්පිළිවෙත් අනිකා කෙරෙහි නීතියෙන් හෝ බලයෙන් පැටවීමට සදාචාරාත්මක අයිතියක් කිසිවෙකුට තිබේද? අප වෛරී චේතනාවෙන් චෝදනා මතු කිරීමෙන් ඉවත් වී සත්‍යය හා යථාර්ථය පදනම් කර ගනිමින් කටයුතු කරන්නේ නම් අපට දැනට ඇති බොහෝ දුර්මතයන් ඉවත් කොට සාමයෙන් සමගියෙන් හා සහෝදරත්වයෙන් ජීවත්වීමට සුදුසු සුන්දර පරිසරයක් ගොඩ නඟා ගැනීමට හැකි වෙනවා නොවේ ද? 

බහු වාර්ගික හා බහු ආගමික සමාජයක එකිනෙකාගේ විශ්වාසයන් හා මතයන්ට ගරු කරමින් තමාට යහ යැයි අවබෝධ වන විශ්වාසයෙහි හා මතයෙහි පිහිටා ක්‍රියා කිරීමට ඇති නිදහස හා අයිතිය අත්‍යවශ්‍ය කරුණකි. අනවබෝධය හේතුවෙන් අප අන් අයගේ විශ්වාසයන් හා ක්‍රියාකාරකම් කෙරෙහි බලපෑම් කරන්නට හෝ විවේචනය කරන්නට හෝ යෑමෙන් සිදු වන්නේ කාලාන්තාරයක් තිස්සේ පැවත ආ සුහදත්වය පළුදු වී එකිනෙකාගෙන් ඈත් වූ සමාජයක් ඇති වීමය. මෙය රටේ ආර්ථික හා සමාජයීය සංවර්ධනයට හිතකර පරිසරයක් ලෙස කිසිසේත්ම සැලකිය නොහැක. අනවබෝධය හා ඉන් මතු වන අනර්ථකාරී වෛරය ඉවත් කොට සැමට සතුටින් එකට ජීවත් විය හැකි, සුහදත්වය හා මිනිසත්කම පදනම් කර ගත් සමාජයක් ගොඩ නැගීමට අධිෂ්ඨානශීලීව එකට අත්වැල් බැඳ ගනිමු.      

එනිසා අපි සත්‍යය අවබෝධ කර ගනිමු. දැනුවත් වෙමු, වෛරය, ක්‍රෝධය තුරන් කරමු. සාමකාමී, හා සමගියෙන් බැඳුනු මව්බිමක් ගොඩනගමු. ඉදිරි පරපුරට සාමකාමී හා සෞභාග්‍යයෙන් යුත් රටක් ගොඩනගන්නට අවශ්‍ය අඩිතාලම දමන්නට අදම අධිෂ්ඨාන කර ගනිමු.

මෑතක දී පළවූ මාධ්‍යය තොරතුරු අනුව ගව ඝාතනය තහනම් කිරීමට නීති සම්පාදනය වෙමින් පවතින බව දන්වා තිබුණි. නමුත් ශී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජෙය් ආණ්ඩුකම ව්‍යවස්ථාවේ II වැනි පරිච්ඡේදයේ  ශී ලංකා ජනරජය බුද්ධාගමට පමුඛස්ථානය පිරිනමන්නේ ය යනුවෙන් දක්වා ඇත. එහි  පහත සඳහන් කොටස ද අන්තර් ගතය.

එහෙයින් 10 වැනි ව්‍යවස්ථාවෙන් සහ 14 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනු ව්‍යස්ථාවේ (ඉ) ඡේදයෙන්  සියලු ම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය  කිරීම රජෙය් වගකීම විය යුත්තේය.

මෙලෙස බුදුදහම සුරක්ෂිත කොට පෝෂණය කිරීමට ව්‍යවස්ථාවෙන්ම බැඳී සිටින ශ්‍රී ලංකා රජය අවම වශයෙන් පංච ශීලය වත් රැකීමට කටයුතු කළ යුතු වෙනවා නොවේ ද? ගව ඝාතනය පමණක් නොව සියලු සත්ව (මත්ශ්‍යය) ඝාතන නීතියෙන් තහනම් කිරීමට ලංකා රජය බැඳී සිටිනවා නොවේ ද? මත්පැන මගින් ලබන ආදායම මුළු රාජ්‍යය ආදායමින් 7% පමණ බව දැක්වේ. මෙය රාජ්‍යය අනුග්‍රහයෙන් හා අනුමැතියෙන් කෙරෙන්නාවූ පංචශීලය උල්ලංඝනය කිරීමක් නොවන්නේ ද? කරුණාකර සිතා බලන්න. එකම නීතිය රාජ්‍යය ව්‍යවස්ථාවට අනිවාර්යයෙන්ම අනුකුල විය යුතු වෙනවා නොවේ ද?  

පංච ශීලය 

1.     පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමී (ප්‍රාණඝාතනයෙන් වැළකීම වූ සික්ෂා පදය සමාදන් වෙමි) 
2.     අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමී (හිමිකරුවන් විසින් නුදුන් අන් සතු දෑ සොර සිතින් ගැනීමෙන්  වැළකීම වූ සික්ෂා පදය සමාදන් වෙමි)
3.     කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමී (කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම වූ සික්ෂා පදය සමාදන් වෙමි) 
4.     මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමී (බොරු කීමෙන් වැළකීම වූ සික්ෂා පදය සමාදන් වෙමි) 
5.     සුරාමේරය මජ්ජපමාදට්ඨානා  වේරමණී සික්ඛාපදං සමාදියාමී (මදයට ප්‍රමාදයට හේතුවන සුරාමේරය පානයෙන් වැළකීම වූ සික්ෂා පදය සමාදන් වෙමි

The rating agency estimates the excise tax on alcoholic beverages to be around 7 percent of the government’s total tax revenue. Sri Lanka’s Treasury reported tax revenues of Rs. 670.4 billion for the seven months to July, compared to Rs. 944.4 billion recorded in the same period in 2019.(Oct 26, 2020) පවතින තත්ත්වය තුලපංච ශීලයේ අනෙකුත් කරුණු ගැනත් මොහොතක් සිතා බලන්න.

Leave a Reply

Your email address will not be published.