රාජකීය පණ්ඩිත ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ඉස්ලාමයට එරෙහිව නගන චෝදනා පිළිබඳ විග්‍රහය – 4

විශේෂයෙන් ම මෙරට සහෝදර සිංහල බෞද්ධ ජනයා අතර මුස්ලිම්වරුන් පිළිබඳ බියක් හා සැකයක් ඇතිකිරීම පිණිස ඥානසාර හාමුදුරුවෝ නිතර මාධ්‍යය සාකච්ඡාවන්හි පුනරුච්චාරණය කරන අල් කුර්ආන් වැකියක් පිළිබඳ විග්‍රහයක් ඉදිරිපත් කිරීමට මෙම ලිපියෙන් අදහස් කරන්නෙමු. අල් කුර්ආන් වැකි විග්‍රහ කිරීමේ රීති පිළිබඳ කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්නට අදහස් කළත් ලිපිය ප්‍රමාණයට වඩා දීර්ඝ විය හැකි හෙයින් ඒ අදහස අත්හරින්නට තීරණය කළෙමු. කෙසේ නමුත් සිංහල ජනවහරේ ඇති ‘අන්ධයා අලියාගේ හැඩය කිව්වාසේ’ අල් කුර්ආන් පිළිබඳ අර්ථ දැක්වීම් කළ නොහැක. උන්වහන්සේගේ ‘ඉස්ලාම් භීතිකා’ ව්‍යාපාරයේ පුස්ස බිඳීමේ තවත් පියවරක් ලෙස මෙම විග්‍රහය ඉදිරිපත් කරන්නෙමු.

ජාත්‍යන්තර පිළිගැනීමක් හා කීර්තියක් ඇති ‘TIME’ සඟරාවට අයත් පහත සඳහන් වෙබ් සම්බන්ධකයෙන් ලබා ගත් තොරතුරු පහතින් සංක්ෂිප්තව උපුටා දක්වා ඇත්තෙමු.
“ජාතිවාදය රෝගයක් ද? මනෝ චිකිත්සකයින් හා මනෝ විද්‍යාඥයින් මෙම වැදගත් කරුණ සංවාදයකට බඳුන් කොට ඇත. අගතිගාමිත්වය රෝගකාරක තත්ත්වයක් ද යන්න පිළිබඳ ව පරිච්ඡේදයක් ‘Oxford Handbook of Personality Disorders’ නමැති ග්‍රන්ථයට ඇතුළත් කිරීමට කටයුතු කොට ඇත. මෙම අගතිකාමිත්වයෙන් අදහස් වන්නේ සර්ව ශ්‍රේෂ්ඨ මානසිකත්වයක් ඇති එක් වාර්ගික කොටසක් විසින් තවත් සුළු හෝ පහත් යැයි එම සමාජයේ සම්මත වාර්ගික කොටසක් සම්බන්ධයෙන් සාහසිකත්වය හා භීෂණය මුදා හරිමින් කටයුතු කිරීමයි.”
http://ideas.time.com/2012/05/04/is-racism-an-illness/

බුදුන් වහන්සේ ධම්ම පදයෙහි දේශනා කර වදාළ අයුරු වෛරය හා ක්‍රෝධය පැරදවීම සඳහා කළයුතු ක්‍රියා මාර්ගයද පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.
අක්කොධෙන ජිනේ කෝධං
අසාධුං සාධුනා ජිනේ
ජිනේ කදරියං දානෙන
සච්චෙන අලිකවාදිනං (ධම්ම පදය)

අර්ථය: ක්‍රෝධ කරන පුද්ගලයාට ක්‍රෝධ නොකිරීමෙන් ඔහු පැරදවිය යුතුයි, හෙවත් ක්‍රෝධ නොකිරීමෙන් ක්‍රෝධය ජය ගත යුතුය. අසත්පුරුෂයා සත්පුරුෂ ගුණයෙන් පැරදවිය යුතුය. තද මසුරා යම් යම් දේ දීමෙන් ජයගත යුතුය. බොරු කියන්නාව ඇත්ත කීමෙන් පැරදවිය යුතුය.

පළමුව මෙම චෝදනාව ඉදිරිපත් කරමින් විවිධ රුපවාහිනි නාලිකා හා අනෙකුත් මාධ්‍යයන් මගින් ඥානසාර හාමුදුරුවෝ පුනරුච්චාරණය කරමින් සිටිනා ආකාරය වෙත අවධානය යොමු කරමු.
“තවද ශුද්ධ වූ මාස 4 පසු වූ පසු වූ වහාම, පිළිම වන්දනාකරුවන් සහ බහුදේවවාදෙන් දුටු දුටු තැන කපා කොටා ඝාතනය කරන්න. එසේම ඔවුන්ව වටලා අල්ලාගෙන බැඳ දමන්න. එසේම ඔවුන් යන එන තැන්වල මඟ රැක සිට කඩාපැන පහරදෙන්න (Ambush), එවිට එම හිංසනයෙන් පීඩාවට පත්වී ඉවසාගනු නොහැකිව) ඔවුන් තම ආගම අතහැර අල්ලාහ්ගේ ආගම (ඉස්ලාමය) වැළඳ ගන්නේ නම් එවැනි අයව තෝරා මුදා හරින්න. අල්ලාහ් සමාව දෙන්නාය, අල්ලාහ් මහා කාරුණිකයාය:”.

විග්‍රහය: අල් කුර්ආනයේ 9 වැනි පරිච්ඡේදයේ 5 වැනි වැකිය පිළිබඳ විවේචනයකින්, අවලාදයකින් තොරව ජාතික මෙන්ම ජාත්‍යන්තර ඉස්ලාම් භීතිකා වෙබ් අඩවියක් හෝ අනෙකුත් ඉස්ලාම් විරෝධී ප්‍රචාරයක් දකින්නට නොමැති තරම් යැයි පැවසීම සත්‍යය වශයෙන් ම අතිශයෝක්තියක් නොවේ. ඉංග්‍රීසි බසින් ඇති ඉස්ලාම් විරෝධී වෙබ් අඩවි මෙම වැකිය හඳුන්වා දී ඇත්තේ ‘අසිපතේ වැකිය’ (Verse of the Sword) ලෙසටය. ලොව වසනා ඕනෑම පිළිම වන්දනාකරුවෙකු ඝාතනය කිරීමට මෙම වැකිය මගින් විවෘත අවසරයක් හා අනුමැතියක් ලබා දී ඇති බව ඔවුන් චෝදනා කරති. මෙමගින් විශේෂයෙන්ම මෙරට බෞද්ධ ජනයාගේ සිත්සතන් හි පදනම් විරහිත අනිසි බියක් හා පිළිකුලක් ඉස්ලාමය හා මුස්ලිම්වරුන් පිළිබඳ ව ඇති කිරීමට මෙම වෛරය හා ක්‍රෝධය වැපිරීමේ කාර්යයෙහි නියැලී සිටින්නන් සිදු කරමින් සිටිති. මෙම කපටි ව්‍යායාමය පරාජය කොට සත්‍යය කුමක් ද යන්න පැහැදිළි කිරීම අපගේ වගකීම බවට පත් ව ඇත. මෙම අපේක්ෂාව පදනම් කරගනිමින් එම වැකියට පසුබිම් වූ ඓතිහාසික සිදුවීම් මෙන්ම එම වැකියේ සන්දර්භයේ ඇති අනෙකුත් වැකි පිළිබඳ විග්‍රහයක් පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු. අන්ධයින් අලියාගේ හැඩය පැවසුවාසේ අල් කුර්ආන් වැකි පිළිබඳ ව අර්ථ දැක්වීම් සිදුකළ නොහැක. කුර්ආනයේ සමස්ථ ඉගැන්වීම් පිළිබඳ දැනුමක් අනිවාර්යයෙන්ම මේ සඳහා අවශ්‍යය වෙයි. මෙසේ විකෘති කොට ‘ඉස්ලාම් භීතිකාවක්’ නිර්මාණය කිරීම සඳහා ඥානසාර හාමුදුරුවෝ ඉදිරිපත් කරන මෙම වැකිය නිවැරදිව අවබෝධ කර ගැනීම සඳහා උපකාරීවන තවත් කුර්ආන් වැකි කිහිපයක් වෙත පළමුව පළමුව අවධානය යොමු කරමු. මෙම සම්මත ඉගැන්වීම් පදනම් කරගෙනයි මෙම වැකිය පිළිබඳ ව අවධානය යොමු කළ යුත්තේ. එම වැකිය පිළිබඳ ව ම සවිස්තරාත්මක විග්‍රහයක් පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.

“කවරෙකු නුඹලා සමග යුද වදින්නේ ද ඔවුන් සමග අල්ලාහ්ගේ මාර්ගයෙහි නුඹලා යුද වදිවු. නමුත් නුඹලා සීමාව ඉක්මවා නොයවූ. සැබැවින්ම අල්ලාහ් සීමාව ඉක්මවා යන්නන්ව ප්‍රිය නොකරයි”. (අල් කුර්ආන් 2:190) 

පළමුව 2:190 වැකියෙන් දක්වා ඇති ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් පිළිබඳ ව විමසා බලමු. මෙහි ඉතාම පැහැදිලි මග පෙන්වීම් දෙකක් ලබා දී ඇත. එනම්: 

1. තමන් සමග සටන් වදින්නන් සමග පමණක් සටන් වැදීම මෙම වැකියේ ප්‍රධානතම උපදේශයයි. මේ අනුව ඕනෑම අයෙකු සමග සටන් කිරීමට ඉස්ලාමිකයින්ට අවසරයක් නොමැත.
2. එසේ සටන් වැදීමේ දී සීමාව ඉක්මවා කටයුතු නොකිරීමට වග බලාගත යුතුය යන්න ද මෙහි තවත් වැදගත් උපදේශයකි. වර්තමානයේ යුද ගැටුම් හි නිරත බොහෝ හමුදා තම සීමාවන් ඉක්මවා ගොස් අහිංසක සිවිල් වැසියන් ඝාතනය කිරීම සාමාන්‍ය සිදුවීම් බවට පත් වී ඇත. මෙලෙස හැසිරීමට ඉස්ලාමිකයින්ට අනුමැතියක් නොමැත.

“දහම හේතුවෙන් නුඹලා සමග සටන් නොකළවුන් හට ද නුඹලාව නුඹලාගේ නිවෙස් වලින් පලවා නොහරියවුන් හට ද යහපත කිරීම හා යුක්ති ගරුක ව කටයුතු කිරීම (පිළිබඳව) අල්ලාහ් නුඹලා ව වළක්වන්නේ නැත. සැබැවින්ම අල්ලාහ් යුක්ති ගරුක ව කටයුතු කරන්නන් ව ප්‍රිය කරන්නේය.” (අල් කුර්ආනය 60:8)

මුස්ලිම්වරුන්ට අපරාධ හා සතුරුකම් නොකළ මුස්ලිම් ජනයාට යහපත ඉටුකරමින් හා යුක්තිගරුකව කටයුතු කළ යුතු බව මෙම වැකියෙන් අවධාරණය කොට ඇත. එනිසා ඥානසාර හාමුදුරුවෝ පවසන ආකාරයට සියළු පිළිම වන්දනාකරුවන් හා බහුදේව වාදීන් සැමදා සැමවිට කපා කොටා ඝාතනය කිරීමට කුර්ආන් ඉගැන්වීම් දොරටු විවෘත කොට නොමැති බව පැහැදිලි වනු ඇතයි විශ්වාස කරන්නෙමු.

“(විශ්වාසවන්තයිනි,) නීතිය අකුරටම පිළිපැදීමෙ හි අල්ලාහ් වෙනුවෙන් ඔබ සාක්ෂි දරවු. මිනිසුන්ගෙන් එක් කොටසක් කෙරෙහි (ඔබ තුළ ඇති) ද්වේෂය (ඔවුන්ට) අපරාධයක් කිරීමට ඔබ ව පොලඹවා නොගනිවු. (කොපමණ ක්‍රෝධයන් තිබුණ ද) ඔබ නීතියම ක‍්‍රියාත්මක කරවු. එය බිය බැතිමත්භාවයට ඉතා සමීප වන්නේය. (කුමන අවස්ථාවක දී වුවද) ඔබ අල්ලාහ්ටම බිය වවු. සැබැවින්ම අල්ලාහ් ඔබ කරන දෑ හොඳින් දන්නේය.” (අල් කුර්ආන් 5:8)

මෙම වැකිය මගින් අවධාරණය කරන කරුණු අමතර විස්තර කිරීමක් නොමැති ව ද ඉතාමත් ම පැහැදිලිය.

“ඔවුන් සමාදානය වෙත නැඹුරු වන්නේ නම් නුඹ ද ඒ දෙසට නැඹුරු වවු. අල්ලාහ් කෙරෙහි ම විශ්වාසය තබවු. සැබැවින්ම අල්ලාහ් සර්ව ශ‍්‍රාවකය, සර්ව ඥානීය.” (අල් කුර්ආනය 8:61)
“නුඹලාගෙන් ඔවුන් (සටන් කිරීමෙන්) ඉවත් වී නුඹලා සමග කිසි විටෙක සටන් නොවැද නුඹලා වෙත සාමය ඉදිරිපත් කරන්නේ නම් ඔවුනට එරෙහිව (සටන් කිරීමට) නුඹලාට කිසිම මඟක් අල්ලාහ් ඇති නොකරන්නේය”. (අල් කුර්ආන් 4:90)

“දහම සම්බන්ධව බලකිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලිව ඇත.” (අල්කුර්ආන් 2: 256)

ඉහත වැකි මගින් ද ඥානසාර හාමුදුරුවෝ මවාපාන්නට උත්සාහ කරන ‘ඉස්ලාම් භීතිකාව’ වාෂ්ප වී අතුරුදහන් වී යෑම වැළක්විය නොහැකි තත්ත්වයක් උදාකර ඇත. 

“යමෙක් තව අයෙකු ව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත කලහකම් පැතිර වීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙක්ව (නිකරුණේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එලෙසම යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනීද ඔහු මිනිස් වර්ගයාම බේරා ගත්තා හා සමානය.” (අල් කුර්ආනය 5:32)

ඥානසාර හාමුදුරුවෝ ඉස්ලාමීය ඉගැන්වීම් පිළිබඳ ව වැපිරීමට උත්සාහ කරන බරපතල සියළු මුසාවාදයන් ඉහත අල් කුර්ආන් වැකි මගින් සදහටම විනාශ වී යනු නිසැකය.
මෙසේ පවසමින් විකෘති කොට ඉදිරිපත් කරන ලද එම වැකියේ නිවැරදි පරිවර්තනය අනුව අර්ථ දක්වා ඇති අයුරු පහතින් දක්වා ඇත්තෙමු.

“තහනම් මාසයන් ඉක්ම ගිය පසු (නුඹලා සමඟ යුද වැදී සිටින) ආදේශකයින්ව දුටු තැන කපා දමවු. ඔවුන්ව සිරභාරයට ගනිවු. ඔවුන්ව වටලවු. ඔවුන් සැඟවෙන සෑම තැනකම ඔවුන් වෙනුවෙන් සැඟ වී සිටිවු. ඔවුන් (ඔවුන්ගේ අපරාධයන්ගෙන් ද ප්‍රතික්ෂේපයෙන් ද) පසුතැවිලි වී වැළකී (විශ්වාස කර) සලාතය ද පිළිපැද සකාත් ගෙවුවහොත් ඔවුන්ව ඔවුන්ගේ මාර්ගයෙහි අත හරිනු. සැබැවින්ම අල්ලාහ් අති ක්‍ෂමාශීලිය හා අති කරුණාභරිතය” (අල් කුර්ආන් 9 : 5)

නිශ්චිත ඓතිහාසික සන්දර්භානුගත සිදුවීමක් පමණක් පදනම් කරගෙන පහළ වූ මෙම වැකියේ කරුණු සියලූම මුස්ලිම් නොවන්නන්ට එරෙහිව සැමදා සැමවිට සැමතැන බලගැන්විය යුතු අදහසක් හැටියට හුවා දක්වන්නට දරා ඇති බොළඳ උත්සාහය සත්‍යය වශයෙන්ම තම සිතේ ඇති මුස්ලිම් විරෝධය මනාව හෙළිදරවු කරන්නකි. මෙම වැකියේ නිවැරදි අර්ථ දැක්වීම හා විග්‍රහය පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.

මෙම අල් කුර්ආන් වැකිය පහළ වීමට හේතු වූ ඓතිහාසික පසුබිම පළමුව තේරුම් ගත් විට මෙම වැකියෙහි නිවැරදි අර්ථය අවබෝධ කර ගැනීම පහසු වනු ඇත. 
ඒක දේවත්වය වෙත හා සාරධර්ම සපිරි සමාජ ප්‍රතිසංස්කරණය උදෙසා මුහම්මද් ධර්මදුතයයාණන් කළ ඇරයුම මක්කා වාසී කුරෛෂ් ගෝත්‍රිකයින්ගේ දැඩි විරෝධයට ලක් වූ අතර එතුමාගේ දේශනයන් පිළි ගත් දුබල, දිළිඳු බහුතරයකට අනේක විධ වද හිංසාවන්ට මුහුණ පෑමට එම කාලවකවානුවේ දී සිදු විය.

මෙම තත්ත්වය තුළ වසර දහතුනක් වැනි දීර්ඝ කාලයක් මක්කා වැසියන්ගේ දැඩි තාඩන පීඩනයන්ට මුහුණ දෙමින් කටයුතු කිරීමෙන් අනතුරුව එතුමාට හා මුස්ලිම් වරුන්ට මක්කාව අතහැර මදීනා නගරයට දෙශාන්තරණය කිරීමට පසුබිම සකස් වී තිබුණි. මදීනා නගරයට දෙශාන්තරණය කිරීමෙන් පසුවත් මුස්ලිම්වරුන්ට එරෙහිව හමුදා මෙහෙයුම් කිහිපයක් දියත් කළහ. ‘බද්ර්’, ‘උහුද්’ හා ‘හන්දක්’ නමින් හැඳින්වෙන හමුදා ප්‍රහාරයන් මෙයින් කිහිපයකි. මුහම්මද් තුමාණන් හා පිරිස මදීනා නගරයට දෙශාන්තරණය කිරීමෙන් පසු හයවන වසරේ දී මක්කා නගරයට පැමිණ ‘උම්රා’(මක්කා වේ මස්ජිදුල් හරාම් පල්ලිය ආශ්‍රිතව සිදු කරන ඉස්ලාමයේ එක් නැමදුමක්) වතාවත් ඉටු කිරීමට කටයුතු කළ අවස්ථාවේ දී හුදෛබියා නම් වූ ස්ථානයේ දී ඔවුන්ව වලක්වාලීමට මක්කාවේ ඉස්ලාම් විරෝධීන් විසින් කටයුතු කරන ලදී. මෙතැන දී ඇති වූ අති පීඩාකාරී තත්ත්වය මත මුස්ලිම්වරුන්ට ඉතා අවාසි සහගත බව පෙනෙන්නට තිබු සටන් විරාම ගිවිසුමක් අත්සන් කරන ලදී. එම ගිවිසුමද එයට වර්ෂ එකහමාරක දී මක්කා වාසීන් විසින් බිඳ දමන ලදී.

ඉහත සඳහන් ගිවිසුම අනුව මක්කාවාසී කුරෛෂ් ගෝත්‍රිකයින් හා මුස්ලිම්වරුන් අතර සටන් විරාමයක් සඳහා එකඟතාවකට එළඹෙන ලදී. මේ අනුව කුරෛෂ් ගෝත්‍රිකයින් හා ඔවුන්ට සහය දක්වා ගිවිසුම් ගත වී සිටි ඔවුන්ගේ පාක්ෂික ගෝත්‍රිකයින් සමග ද මුස්ලිම්වරුන් සටන් විරාම ගිවිසුමේ කොන්දේසි රැකිය යුතු විය. අනිත් අතින් මුස්ලිම්වරුන් සමග සාම ගිවිසුම් අත්සන් කොට තිබු මුස්ලිම් නොවන ගෝත්‍රිකයින් ද කුරෛෂ් වරුන් හා ඔවුන්ගේ පාක්ෂික ගෝත්‍ර සමග මෙම සටන් විරාම ගිවිසුමේ කොන්දේසි රැකිය යුතු විය. වැඩිකල් නොගොස් කුරෛෂ් පාක්ෂික බනු බක්ර් ගෝත්‍රිකයින් විසින් මුස්ලිම් වරුන් සමග ගිවිසුම් ගතව සිටි මුස්ලිම් නොවන බනු කුසා ගෝත්‍රිකයින්ට පහර දී එම ගෝත්‍රයේ බොහෝ දෙනෙකුව ඝාතනය කරන ලදී. සටනට පිවිසි මෙම දෙපාර්ශවය මැද සිටි කුරෛෂ් වරුන් විසින් ප්‍රහාරය ආරම්භ කළ ඔවුන්ගේ බනු බක්ර් පාක්ෂිකයින් ව පාලනය කොට මෙම ගැටුම සමථයකට පත් කරනු ඇතැයි මුස්ලිම්වරුන් විසින් අපේක්ෂා කරන ලදී. නමුත් ඓතිහාසික සාක්ෂි අනුව කුරෛෂ් ගෝත්‍රිකයින් විසින් මුස්ලිම්වරුන් සමග එකඟ වූ ගිවිසුම උල්ලංඝනය කරමින් තම පාක්ෂික බනු බක්ර් ගෝත්‍රිකයින්ට අවි හා තම සාමාජකයින්ගේ සහාය හා සහභාගිත්වය ද ලබා දෙමින් මුස්ලිම් වරුන් සමග ගිවිසුම් ගත ව සිටි බනු කුසා ගෝත්‍රිකයින් ව ඝාතනය කිරීමට කටයුතු කරන ලදී. මේ අනුව මුස්ලිම්වරුන් සමග එකඟ වූ ගිවිසුම කඩකිරීමේ පළමු පියවර කුරෛෂ් වරුන් විසින් සිදු කරනු ලැබීය.
මෙම ගැටුම සම්පුර්ණයෙන් ම මුස්ලිම් නොවන ගෝත්‍රිකයින් අතර හටගත් එකකි. මුස්ලිම් වරුන්ගේ අපේක්ෂාව මුස්ලිම් නොවන්නන් ඝාතනය කිරීමක් නම් මෙම තත්ත්වය පිළිබඳ ව මුස්ලිම්වරුන්ට කරන්නට තිබු වඩාත් උචිත පියවර වූයේ නිහඬ නිරීක්ෂකයින් බවට පත්වීම පමණි. නමුත් එකඟ වූ ගිවිසුම් ආරක්ෂා කිරීම ඉස්ලාමීය ආචාර ධර්ම අතර ප්‍රධාන තැනක් ගැනෙන්නක් හෙයින් ඔවුන් සමග ගිවිසුම් ගතව සිටි මුස්ලිම් නොවන බනු කුසා ගෝත්‍රිකයින්ගේ සහායට ඒම මුස්ලිම්වරුන්ගේ වගකීමක් විය. මුස්ලිම් භීතිකා ව්‍යාපාරිකයින්ගේ මුසාවාද ප්‍රචාරය හිරු දුටු පිනිබිඳක් ලෙසින් වාෂ්ප කොට හැරීමට මෙම ඓතිහාසික සත්‍යය පමණක් ප්‍රමාණවත් ය. එසේ පවසමින් වඩාත් සවිස්තරාත්මක විග්‍රහයක් පහතින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නෙමු. 

මෙහි සඳහන් ඉස්ලාම් විරෝධීන්ගේ ක්‍රියාකලාපයන් කෙලෙසකවත් මක්කාහ් නගරයේ ආරක්ෂාව සඳහා යෝග්‍යය නොවන බව ඉහත සඳහන් කරුණු වලින් මනාව පැහැදිලි වෙයි. ගිවිසුම් කඩ කරමින් නිතර ප්‍රහාරයන් එල්ල කරමින් විශ්වාස ද්‍රෝහී ලෙස කටයුතු කිරීම හේතුවෙන් ඔවුන් සමග සහවාසය ඉතා අවදානම් ක්‍රියාවක් බව පැහැදිලිව පෙනෙන්නට තිබු හෙයින් ඔවුන්ට මක්කාහ් නගරයෙන් ඉවත්වීමට මාස හතරක් කල් දෙනු ලැබීය. මෙම කල් දීම පිළිබඳව සඳහන් අල් කුර්ආන් වැකි මක්කාවේ ජනයාට පාරායනය කර පෙන්වීමට මුහම්මද්තුමාණන් විසින් මදීනා නගරයේ සිට මක්කා නගරයට නියෝජිතයින් දෙදෙනෙකු එවන ලදී. මෙම කාලය තුළ ඔවුන් ඉවත් වුවහොත් ඔවුන් සමග ගැටුමක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවක් කිසිසේත් ම උදා නොවන බව මෙයින් අවධාරණය කොට තිබුණි. නමුත් එසේ ඉවත් නොවී මක්කාවේ රැඳෙන්නන් පිළිබඳවයි මෙහි සඳහන් වන්නේ. රටේ නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කිරීම මෙම පිටුවහල් කිරීමට ප්‍රධාන හේතුවයි.

ඉහත සාකච්ඡාවට බඳුන් වී ඇති අල් කුර්ආන් වැකියේ සන්දර්භය වෙත අවධානය යොමු කරමු.

9:1 “(මෙය) ආදේශකයින් අතුරින් නුඹලා කවරෙකු සමග ගිවිසුම් ඇති කර ගත්තේ ද ඔවුන් වෙත අල්ලහ්ගෙන් ද රසුල්වරයා (ධර්මදුතයා)ගෙන් ද වූ (එම වගකීමෙන්) මුදාහැරෙන ප්‍රකාශනයකි”.
විග්‍රහය: (ඉස්ලාම් විරෝධී කුරෛෂ් හා ඔවුන්ගේ සහායක ගෝත්‍රිකයින් සමග මුස්ලිම්වරුන් සටන් විරාම සාම ගිවිසුමක් ඇතිකරගෙන තිබු අතර එය කුරෛෂ් පාර්ශවයේ බනු කිනානා ගෝත්‍රය හැරෙන්නට එම පාර්ශවයේ අන් සැවොම විසින් උල්ලංඝනය කොට තිබුණි. මුස්ලිම්වරුන්ට ඒක පාර්ශවීයව ගිවිසුමක් රැකිය නොහැකි හෙයින් එයින් ඉවත්වීමේ ප්‍රකාශනය මෙම වැකියෙන් ප්‍රසිද්ධියට පත් කොට ඇත.) (මුලාශ්‍රය: තන්වීර් අල් මික්බාස් මින් තෆ්සීර් ඉබ්නු අබ්බාස්)

9:2 “සිව් මසක් මෙම භුමියේ (මක්කාහ් හි) නුඹලා සැරිසරවූ. සැබැවින් ම නුඹලා අල්ලාහ්(ගේ අභිමතය) පරාජය කළ නොහැක්කන් බවත් සැබැවින්ම අල්ලාහ් (සාපරාධී) ප්‍රතික්ෂේපකයින් ව අවමානයට ලක්කරන්නෙකු බවත් දැනගනිවු”. 

විග්‍රහය: (ගිවිසුම කඩකිරීමත් සමග වහාම යුද ප්‍රකාශයක් නොකොට ඔවුන්ට මාස හතරක කාලයක් ලබා දීමෙන් අපරාධ සිදු කළ පිරිස සම්බන්ධව යුක්ති ගරුක ලෙස කටයුතු කිරීමට මෙම වැකියෙන් උපදෙස් දී ඇත. ගිවිසුම කඩ කරමින් ඉස්ලාමිකයින්ට සතුරුකම් කරමින් ඔවුන්ගේ මිත්‍ර පාක්ෂිකයින් ඝාතනය කළ පිරිස පිළිබඳවයි මෙහි සඳහන් වන්නේ. ඉවත් වීමට මාස හතරක් දී තිබුන ද ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී ප්‍රයෝගයන් පිළිබඳව විමසිලිවත් වන ලෙස උපදෙස් දී තිබේ. මෙහි පසුබිම හා සන්දර්භය පිළිබඳව අවබෝධයකින් තොරව මුස්ලිම් භීතිකාව ඇති කිරීම පමණක් අරමුණු කොට ගෙන කටයුතු කරන විට සත්‍යයෙන් බැහැරව අදහස් දැක්වීම් නොවැළක්විය හැක්කක් නොවන බව පිළිගන්නෙමු. ඔවුන්ට ඉවත්වන්නට දුන් නියෝගය රටින් පිටුවහල් කිරීමක් නොවේ. මෙම කාල වකවානුව වනවිට මක්කා ප්‍රදේශය ද මුස්ලිම් රාජ්‍යයේ කොටසක් ව පැවතිනි. මෙම අපරාධකරුවන්ට ඉවත් වන්නට උපදෙස් දී තිබුනේ අති පෞරාණික එමෙන්ම මුස්ලිම්වරුන්ගේ අති උත්තරීතර මක්කාවේ පිහිටි පල්ලිය හා ඒ අවට ඇති පුණ්‍ය භුමි ප්‍රදේශයෙන් පමණි. අති විශාල එම උතුම් හා පෞරාණික පල්ලිය වෙත ආගමික කටයුතු සඳහා පැමිණෙන ජනයාගේ ආරක්ෂාව සහතික කිරීම පිණිස නීති විරෝධී ක්‍රියාවන් හි නියැලෙමින් කටයුතු කරන මෙම පිරිස එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාවක් ව තිබුණි. එදත් අදත් මක්කාව අසල පිහිටි ජිද්දා වැනි නගරයන්හි මුස්ලිම්නොවන්නන් ජීවත්වීම දැකිය හැක.)
9:3 “ආදේශකයින් (ඔවුන් සමග එළැඹ සිටි ගිවිසුම්වල වගකීමෙන්) අල්ලාහ් ද ඔහුගේ රසුල්වරයා ද නිදහස් ය යනුවෙන් ශ්‍රේෂ්ඨ හජ් දිනයේ ජනයා වෙත අල්ලාහ් සහ ඔහුගේ රසුල්වරයා විසින් කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයකි (මේ). මේ නිසා නුඹලා පසුතැවිලි වනවා නම් එය නුඹලාට වඩාත් යහපත් ය. එයට නුඹලා පිටුපාන්නෙහු නම් නුඹලාට අල්ලාහ්(ගේ අභිමතය) පරාජයට පත්කළ නොහැකි බව දැනගනිවු. තවද (මුහම්මද් නබිවරය) ප්‍රතික්ෂේපකයින්ට වේදනීය දඬුවමක් ඇති බව ශුභාරංචි පවසවූ”.

විග්‍රහය: (ගිවිසුම් කඩකරමින් සාපරාධී ක්‍රියාවන් හි නියැලුණු සාහසික පිරිසට තම නොමනා ක්‍රියාවන් පිළිබඳ පසුතැවිලි වී සතුරුකමින් ඉවත්වන ලෙස මෙම අල් කුර්ආන් වැකියෙන් දන්වා ඇත. ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී ක්‍රියා මගින් දෙවිඳුන්ගේ අභිමතය පරාජය කිරීමට නොහැකි බවත් ගිවිසුම් කඩකරමින් මිනිස් ඝාතන ආදී සාපරාධී ක්‍රියාවන් හි දිගට නියැලෙන්නන්ට එරෙහිව දඬුවම් ලබා දෙන සහතිකය ද මෙමගින් ලබා දී ඇත.)

9:4 “ආදේශ තබන්නන් අතුරින් නුඹලා කවරෙකු සමග ගිවිසුම් ඇතිකර ගෙන පසුව (එම ගිවිසුමෙහි) නුඹලාට කිසිදු අඩුවක් නොකොට, නුඹලාට එරෙහිව කිසිවෙකුට උදව් නොකර සිටියවුන්ට හැර. ඔවුන්ගේ ගිවිසුම එයට නියමිත කාලය දක්වා සම්පුර්ණ කරවූ. සැබැවින් ම අල්ලාහ් බියභක්තිකයින් ව ප්‍රිය කරන්නේය”.

විග්‍රහය: (මෙයට පෙර වැකියෙහි සඳහන් දඬුවම් දීම සීමා කොට ඇත්තේ එකඟවූ ගිවිසුම් කඩකරමින් මුස්ලිම්වරුන්ට එරෙහිව කටයුතු කළ ඉස්ලාම් විරෝධීන් ට පමණි. මෙම වැකියෙන් මුස්ලිම්වරුන් සමග ගිවිසුම් ගත වී මුස්ලිම්වරුන්ට එරෙහිව හෝ මුස්ලිම්වරුන්ගේ සතුරන්ට සහාය දක්වමින් කටයුතු නොකළ පිළිම වන්දනයෙහි යෙදුනු මුස්ලිම් නොවන පිරිස සමග එම ගිවිසුම් අනුව කටයුතු කොට ඔවුන්ට සාමයෙන් සිටීමට අවකාශය ලබා දීම මුස්ලිම්වරුන්ගේ වගකීමක් බව අවධාරණය කරයි. මෙම මුස්ලිම් නොවන පිරිස මුස්ලිම් වරුන් සමග ගිවිසුම් අත්සන් කොට ඉන්පසු එහි කිසිම කොන්දේසියක් කඩ නොකොට මෙන්ම මුස්ලිම් වරුන්ගේ අනෙකුත් සතුරන්ට මුස්ලිම් වරුන්ට එරෙහිව උපකාර නොකළ පිරිසයි. ඔවුන් ගිවිසුමේ කොන්දේසි කඩ නොකලාක් මෙන් මුස්ලිම් වරුන් ද එය ආරක්ෂා කරමින් ඒ අනුව කටයුතු කළ යුතු බව උපදෙස් ලබා දී ඇත.) 

9:5 “තහනම් මාසයන් ඉක්ම ගිය පසු (නුඹලා සමඟ යුද වැදී සිටින) ආදේශකයින්ව දුටු තැන කපා දමවු. ඔවුන්ව සිරභාරයට ගනිවු. ඔවුන්ව වටලවු. ඔවුන් සැඟවෙන සෑම තැනකම ඔවුන් වෙනුවෙන් සැඟ වී සිටිවු. ඔවුන් (ඔවුන්ගේ අපරාධයන්ගෙන් ද ප්‍රතික්ෂේපයෙන් ද) පසුතැවිලි වී වැළකී (විශ්වාස කර) සලාතය ද පිළිපැද සකාත් ගෙවුවහොත් ඔවුන්ව ඔවුන්ගේ මාර්ගයෙහි අත හරිනු. සැබැවින්ම අල්ලාහ් අති ක්‍ෂමාශීලිය හා අති කරුණාභරිතය”.

විග්‍රහය: (මෙම පරිච්ඡේදයේ බොහෝ වැකි අදාළ වන්නේ ක්‍රි. ව. හයවන සියවසේ එක්තරා නිශ්චිත අපරාධකාරී පිරිසක් එකඟ වූ ගිවිසුම් කඩකරමින් මිනිස් ඝාතන ආදිය සිදුකරමින් සමාජ විරෝධී අයුරින් ක්‍රියා කිරීම සම්බන්ධයෙනි. මෙම වැකි සැමදා සැමට සැමවිට සැමතැන අදාලවන ලෙසක් දක්වමින් ඉස්ලාම් විරෝධී ප්‍රචාරකයින් ගෙන යන්නේ සත්‍යය වශයෙන්ම ඉතා කපටි හා ද්වේශ සහගත ප්‍රචාරයකි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ගැටුම පැවති අවධියේ කිලිනොච්චියට පහර දෙන ලෙස හමුදා ප්‍රධානීන් නියෝගයක් නිකොත් කොට තිබිය හැක. මෙම නියෝගය අදාළ වන්නේ එම ත්‍රස්තවාදී ක්‍රියා පැවති නිශ්චිත ඓතිහාසික සන්දර්භයක නිශ්චිත පිරිසකට එරෙහිව පමණි. තම නියෝග පුස්තකයේ කිලිනොච්චියට පහර දීමට නියෝගයක් ඇති බව පවසමින් එම ගැටුම් අවසන් වූ වර්තමානයේ හමුදා ප්‍රධානියෙකු නැවත කිලිනොච්චියට පහර දීමට කටයුතු කළහොත් වහාම එම නිලධාරියා ව මානසික රෝහලක ප්‍රතිකාර සඳහා යොමු කරනු නොඅනුමානය. එලෙසම එක්තරා නිශ්චිත පිරිසකගේ අපරාධකාරී ක්‍රියා සම්බන්ධයෙන් නිශ්චිත ඓතිහාසික සන්දර්භයක් තුළ ක්‍රියා කිරීමට අදාළ අල් කුර්ආන් වැකි සැමට සැමදා සැමවිට අදාළ වන උපදෙස් යැයි යමෙක් හුවා දක්වන්නට කටයුතු කරන්නේ ද අනිවාර්යයෙන් ම ඔවුන් ව ද මානසික ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු වෙනවා නොවේ ද?)

9:6 “ආදේශ තබන්නන් අතුරින් කෙනෙකු නුඹගෙන් රැකවරණය පැතුවේ නම්, අල්ලාහ්ගේ වදන්වලට සවන් දෙන තරමට නුඹ ඔහුට රැකවරණය ලබා දෙවු. පසුව ඔහුව ඔහුගේ ආරක්ෂක ස්ථානයකට ලඟා කරවවූ. මෙයට හේතුව සැබවින් ම ඔවුන් නොදන්නා පිරිසක් බැවිනි”.

විග්‍රහය: (මෙම වැකිය මගින් ද ඉස්ලාමය පිළිබඳ අවලාදාත්මක ප්‍රචාර ඉදිරිපත් කරන්නන්ගේ පදනම් විරහිත චෝදනා සහමුලින්ම බිඳ වැටී යයි. ඉහත පස්වන වැකියෙන් උගන්වන්නේ පිළිම වන්දනාකරුවන් සැවොම සැමදා ඝාතනය කිරීමේ ප්‍රතිපත්තියක් බව පවසන්නන් මෙම වැකියෙන් උගන්වන උත්තරීතර ප්‍රතිපත්තිය කෙරෙහි අවධානය යොමු කරන්නේ නම් යෙහෙකැයි යෝජනා කරන්නෙමු. මුස්ලිම්වරුන් සමග ඉතා දරුණු අයුරින් සටන් වැදී සිටි ඉස්ලාම් විරෝධියෙක් රැකවරණ පතා සිටියේ නම් පළමුව ඔහුට අල් කුර්ආනයේ වදන් වලට සවන් දීමට අවස්ථාවක් ලබා දී ඔහුට ආරක්ෂාව ඇති ස්ථානයක් කරා යොමු කරන ලෙස මෙම වැකියෙන් උපදෙස් දී ඇත. යුද ආචාර ධර්ම පිළිබඳ කතාකරන්නන් පොදුවේ ඉදිරිපත් කරන්නේ තමන්ට යටහත් වන සතුරු සෙබළා සිරභාරයට ගෙන කටයුතු කිරීමේ ප්‍රතිපත්තියකි. නමුත් ඉස්ලාමයේ යුද ආචාර ධර්ම අනුව සතුරු සෙබළා යටහත් වුවහොත් ඔහුට ආරක්ෂාව සහතික වන ස්ථානයකට ගෙන ගොස් මුදා හැරීම එක් ප්‍රතිපත්තියක් බව මෙයින් පැහැදිළි වේ. මෙහි දී අල් කුර්ආන් වැකි වලට සවන් දීමට ඉඩ හැරීම යන්නෙන් අදහස් වන්නේ ඔහුව ඉස්ලාමයට හරවා ගැනීමේ වංක උත්සාහයක් බව පැවසීමට ඉඩ ඇත. එය එසේ කරනු ලබන්නේ ඔහු සටන් කොට ඇත්තේ සත්‍යයට එරෙහිව බව පෙන්නුම් කිරීමට විනා අවිචාරවත් අන්දමින් ආගම් වෙනස් කිරීමේ උත්සාහයක් සඳහා නොවන බව ආගමික නිදහස පිළිබඳ ඉදිරි පත් කළ විවිධ වැකි වලින් අවබෝධ කරගෙන ඇතැයි සිතන්නෙමු.

“දහම සම්බන්ධ ව බල කිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලි ව ඇත.” (අල් කුර්ආන් 2:256)

“සත්‍යය නුඹගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරය නුඹ) පවසවු. එහෙයින් කැමති අයෙකු විශ්වාස කරත්වා! කැමැති අයෙකු ප‍්‍රතික්ෂේප කරත්වා!” (අල් කුර්ආන් 18:29)

“දහම හේතුවෙන් නුඹලා සමග සටන් නොකළවුන් හට ද නුඹලාව නුඹලාගේ නිවෙස් වලින් පලවා නොහරියවුන් හට ද යහපත කිරීම හා යුක්ති ගරුක ව කටයුතු කිරීම (පිළිබඳව) අල්ලාහ් නුඹලා ව වළක්වන්නේ නැත. සැබැවින්ම අල්ලාහ් යුක්ති ගරුක ව කටයුතු කරන්නන් ව ප්‍රිය කරන්නේය.” (අල් කුර්ආනය 60:8) 

එහෙයින් ලොව කිසිදු පිළිවෙතක නොමැති උත්තරීතර ඉගැන්වීම් අනුව ඉස්ලාමීය මඟ පෙන්වීම සැකසී ඇති බව මෙයින් පැහැදිළි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු.)

9:7 “මස්ජිදුල් හරාම් හි (මක්කාවේ පිහිටි ඉපැරණි ප්‍රධාන මස්ජිදය) නුඹලා ගිවිසුමක් කරගත්තවුන් හැර ආදේශ තබන්නන්ට අල්ලාහ් වෙත ද තම රසුල්වරයා වෙත ද ගිවිසුමක් තිබිය හැක්කේ කෙසේ ද? නුඹලා සමග සෘජු ලෙස කටයුතු කරන (ගිවිසුමේ කොන්දේසි පිළිපදින) තාක් කල් නුඹලා ඔවුන් සමග සෘජු ලෙස කටයුතු කරවු. සැබවින් ම අල්ලාහ් බියභක්තිකයින් ව ප්‍රිය කරන්නේය”.

විග්රහය: (මුස්ලිම්වරුන් සමග ඇතිකරගත් ගිවිසුම් කිහිප විටක්ම උල්ලංඝනය කරමින් මුස්ලිම්වරුන් සමග සටනට පිවිසි මුස්ලිම් විරෝධීන් සමග ගිවිසුමක් තිබිය හැක්කේ කෙසේ ද? ගිවිසුමක් යථාර්ථයක් වීම සඳහා දෙපාර්ශවයම එහි කොන්දේසි පිළිගෙන ඒවා පිළිපැදිය යුතු වෙයි. මුස්ලිම්වරුන්ට පමණක් අනිත් පාර්ශවය විසින් අමු අමුවේ උල්ලංඝනය කරනු ලබන ගිවිසුමක් ඒකපාර්ශවීය ව පිළිගැනීමේ හා ක්‍රියාත්මක කිරීමේ වගකීමක් තිබිය නොහැක. මෙම වැකියෙන් උපදෙස් දී ඇත්තේ ගිවිසුම් කඩනොකොට අවංක ලෙස කටයුතු කළ මුස්ලිම් නොවන්නන්ගේ ගිවිසුම් ආරක්ෂා කරමින් මුස්ලිම්වරුන් ද කටයුතු කළ යුතු බවය.)

9:8 “(ගිවිසුමක් විය හැක්කේ) කෙසේ ද? නුඹලාට එරෙහිව ඔවුන් ජය ලැබුවේ නම්, නුඹලා සමග ඇති ඥාති සබඳතාවක් හෝ ගිවිසුමක් හෝ කිසි විටෙක සැළකිල්ලට නොගන්නෝය. ඔවුන්ගේ මුවින් නුඹලා ව තෘප්තියට පත් කරති. (නමුත්) ඔවුන්ගේ හදවත් එය ප්‍රතික්ෂේප කරන්නේය. ඔවුන්ගෙන් බහුතරයක් පාපතරයින් ය”.

විග්‍රහය: (මෙයට ඉහත වැකිය පිළිබඳ ඉදිරිපත් කළ වැකියේ විග්‍රහය අනුව මෙය ගිවිසුම් කඩ කොට මුස්ලිම්වරුන්ව ආක්‍රමණය කිරීමට කටයුතු කළ පිරිස සම්බන්ධයෙනි. ඔවුනට සුළුවශයෙන් හෝ ජයග්‍රාහී ඉහළ තත්ත්වයක් ඇති බව හැඟී ගිය සෑම විටම ඥාති සබඳතාවක් හෝ ගිවිසුමක් හෝ කිසි විටෙක සැළකිල්ලට නොගෙන ගැටුම්කාරී අයුරින් කටයුතු කිරීම ඔවුන්ගේ පිළිවෙත බවට පත් වී තිබුණු බව මෙයින් පැහැදිළි කෙරේ.)

9:9 “ඔවුහු අල්ලාහ්ගේ වැකි සුළු මිළකට විකුණති. ඔහුගේ මාර්ගයෙන් වළක්වති. ඔවුන් කරමින් සිටින දෑ ඉතා නපුරුය”.
විග්‍රහය: (මක්කාවාසී ඉස්ලාම් විරෝධීන් ගේ ප්‍රධාන අරමුණ වී තිබුණේ ජනයාව ඉස්ලාමයෙන් වළක්වාලීමට කටයුතු කිරීමය.)

9:10 “විශ්වාසිකයෙකු විෂයයෙහි ඔවුහු ඥාති සබඳතාවක් හෝ ආරක්ෂක ගිවිසුමක් සැළකිල්ලට නොගනිති. තවද සීමාව ඉක්මවා යන්නෝ ඔවුන්මය”.
9:11 “නමුත් ඔවුන් පශ්චාත්තාප වී තවද සලාතය ස්ථාපිත කර සකාත් ද ලබා දුන්නේ නම් දහමෙහි (ඔවුන්) නුඹලාගේ සහෝදරයින් ය. අවබෝධ කරගන්නා ජනයාට අපි සාධක පැහැදිළි කරන්නෙමු”.
9:12 “ඔවුන් තම ගිවිසුමෙන් පසු ඔවුන්ගේ ප්‍රතිඥාව කඩ කොට නුඹලාගේ දහමට නිග්‍රහ කරන්නේ නම් සැබැවින්ම ඔවුනට කිසිදු ප්‍රතිඥාවක් නොමැති බැවින් ප්‍රතික්ෂේපකත්වයේ ප්‍රධානීන් සමග සටන් වදිව්. එවිට ඔවුන් (ඔවුන්ගේ මෙම පිළිවෙතින්) වැළකී සිටිය හැකිය”.
9:13 “තමන්ගේ ගිවිසුම් කඩකර මෙම රසුල්වරයා ව (මුහම්මද් තුමාගේ උපන් භුමිය වූ මක්කා නගරයෙන්) පිටුවහල් කිරීමට උත්සාහ දරා මුල් වරට නුඹලා සමග (යුද වැදීම) ආරම්භ කළ පිරිස සමඟ සටන් කළ යුතු නොවේ ද? නුඹලා ඔවුනට බියවන්නෙහු ද? නුඹලා විශ්වාසවන්තයින් ව සිටින්නේ නම් නුඹලා බිය වන්නට වඩා සුදුස්සා වනුයේ අල්ලාහ් ය”.

විග්‍රහය: (ගිවිසුම් කඩ කිරීම, මුහම්මද් තුමාණන්ව හා මුස්ලිම් වරුන්ව පිටුවහල් කිරීම හා පළමු ප්‍රහාරය සිදු කිරීම, මක්කාවාසී මුස්ලිම් නොවන්නන්ට එරෙහිව 5 වන වැකියේ සඳහන් යුද තත්ත්වය සඳහා හේතු සාධක වූ බව මෙයින් මනා ලෙස පැහැදිලි වෙයි. මෙවන් තත්ත්වයක් තුළ සතුරා සමග යුද කිරීම හැර වෙනත් විකල්පයක් ඇති දැයි විමසන්නට කැමැත්තෙමු. නමුත් මෙම පරිච්ඡේදයේ පස්වැනි වැකිය පමණක් හුවා දක්වමින් අල් කුර්ආනය සියලුම මුස්ලිම් නොවන්නන්ව දුටු තැන ඝාතනය කිරීමට අනුමැතිය දී ඇති බව පවසමින් මුස්ලිම් භීතිකාවක් ගොඩනැගීමට උත්සාහ කරන්නන් කෙතරම් බරපතල අයුරින් ආගමික ග්‍රන්ථ විකෘති කිරීමට කටයුතු කර ඇත්තේදැයි කරුණාකර සිතා බලන්න. දහමක් හෝ එම දහම අනුගමනය කරන්නන් කෙරෙහි මුසාවාදය මත පමණක් පදනම් වී වෛරයක්, ක්‍රෝධයක් ඇති කිරීමට කටයුතු කරන්නන් කෙතරම් පිරිහීමකට පත් වී ඇති පිරිසක් ද යන්න ඉහත විග්‍රහයන් විචාරශීලීව හා බුද්ධිමත් අයුරින් විමර්ශනය කරන්නෙකුට ඉතා පැහැදිළි අයුරින් පෙනීයනු ඇතැයි විශ්වාස කරන්නෙමු.) 

“(විශ්වාසවන්තයිනි,) නීතිය අකුරටම පිළිපැදීමෙ හි අල්ලාහ් වෙනුවෙන් ඔබ සාක්ෂි දරවු. මිනිසුන්ගෙන් එක් කොටසක් කෙරෙහි (ඔබ තුළ ඇති) ද්වේෂය (ඔවුන්ට) අපරාධයක් කිරීමට ඔබ ව පොලඹවා නොගනිවු. (කොපමණ ක්‍රෝධයන් තිබුණ ද) ඔබ නීතියම ක‍්‍රියාත්මක කරවු. එය බිය බැතිමත්භාවයට ඉතා සමීප වන්නේය. (කුමන අවස්ථාවක දී වුවද) ඔබ අල්ලාහ්ටම බිය වවු. සැබැවින්ම අල්ලාහ් ඔබ කරන දෑ හොඳින් දන්නේය.” (අල් කුර්ආන් 5:8)

“යමෙක් තව අයෙකු ව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත කලහකම් පැතිර වීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙක්ව (නිකරුණේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එලෙසම යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනීද ඔහු මිනිස් වර්ගයාම බේරා ගත්තා හා සමානය.” (අල් කුර්ආනය 5:32)

ඥානසාර හාමුදුරුවනේ කුර්ආන් වැකි විකෘති කරමින් ‘ඉස්ලාම් භීතිකාවක්’ ඇති කොට ජනයා මුලාවට පත්නොකොට සත්‍යය අවබෝධ කරගෙන කටයුතු කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
මීළඟ ලිපියෙන් මහා කාරුණික අල්ලාහ්ගේ උපකාරයෙන් ඥානසාර හාමුදුරුවෝ විසින් අල් කුර්ආන් පරිවර්තනයක් උපුටා දක්වමින් ‘අල්ලාහ් මහා කුමන්ත්‍රණ කරුවා’ යැයි පවසන ලද කරුණ පිළිබඳ ව සවිස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් කරන්නට අදහස් කරන්නෙමු.

කර්තෘ: මනෝවිද්‍යා උපදේශක මොහොමඩ් දහලන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *