රාජකීය පණ්ඩිත ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ඉස්ලාමයට එරෙහිව නගන චෝදනා පිළිබඳ විග්‍රහය – 3

ඥානසාර ස්වාමීන් වහන්සේ විසින් මාධ්‍යය සාකච්ඡාවකට සහභාගී වෙමින් පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු ‘අල්ලාහ්’ යන අදහසින් ඉතා අපහාසාත්මක අයුරින් කරුණු දක්වා ඇත. මෙය ඉතා බරපතල ආගමික අපහාසයක් ලෙස අපි දකින්නෙමු. බිලියන දෙකක් පමණ වන සියළු ඉස්ලාමිකයින් වෙත කරන ලද මෙම අධම අපහාසය දැඩි පිළිකුලෙන් හෙළාදකින්නෙමු. භික්ෂුත්වයට නොව මනුෂ්‍යත්වයටම නොහොබිනා මෙම පහත් හා නින්දිත ප්‍රකාශන අපව පත්කොට ඇත්තේ දැඩි කම්පනීය තත්ත්වයකටය. මෙම බරපතල අපහාසය පිළිබඳ කිසිදු සඳහනක් නොමැතිව අල් කුර්ආනයේ 8වන පරිච්ඡේදයේ 30වැනි වැකිය සඳහන් කරමින් බොදු බල සේනා සංවිධානය මගින් මාධ්‍ය නිවේදන නිකුත් කිරීමෙන් ඇති ප්‍රයෝජනය කුමක් ද?

ඉස්ලාමීය සංවිධාන කිහිපයක් පිළිබඳ පදනම් විරහිත අයුරින් අදහස් දක්වමින් එම සංවිධානයන් පිළිබඳ අවුරුදු 15ක් හෝ 20ක් තමන් වහන්සේ විසින් කළ පර්යේෂණ මගින් හෙළිදරවු කරගත් තොරතුරු රාශියක් ඇති බවත් පවසමින් මුස්ලිම් නොවන සහෝදර ජනයාගේ සිත්සතන්හි මුස්ලිම්වරුන් පිළිබඳ බියක් හා පිළිකුලක් ඇතිකිරීමේ නින්දිත මඩ ව්‍යාපෘතියක උන්වහන්සේ නියැලෙමින් සිටින බව දකින්නට ඇත. හාමුදුරුවනේ! ඔබවහන්සේගේ වසර විස්සක පමණ පර්යේෂණයෙන් හෙළිදරවු කරගත් තොරතුරු ඇතිබව පුනරුච්චාරණය කරමින් සිටින්නේ නැතිව කරුණාකර එම තොරතුරු අපරාධ විමර්ශන කොට්ඨාශයට (CID) හා ත්‍රස්ත විමර්ශන අංශයට (TID) භාරදී විධිමත් පරීක්ෂණයක් කොට වැරදිකරුවන්ට නීතිය මගින් දඬුවම් ලබාදෙන්නට කටයුතු කරන්න. එසේ කිරීමට නොහැකි නම් හිස් ප්‍රලාපයන්හි යෙදෙමින් රටේ විෂ වපුරන්නේ නොමැතිව කරුණාකර නිහඬව ඉන්න. තිරිංග නොමැතිව දොඩමළු වන ඥානසාර හාමුදුරුවෝ අන් දහම් පිළිබඳ ව මෙයට වඩා ගෞරවණීය අයුරින් කටයුතු කළ යුතු බව දන්වා සිටින්නට කැමැත්තෙමු. මහා කාරුණික අල්ලාහ් පිළිබඳ ව උන්වහන්සේ විසින් කරන ලද නින්දනීය අපහාසය පිළිබඳ පහතින් කරුණු ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරන්නෙමු.

එයට පෙර බුදුන් වහන්සේ විසින් සාමයික සහජීවනය පිළිබඳ ව ලබා දී ඇති අලංකාර පුර්වාදර්ශයන් කිහිපයක් වෙත අවධානය යොමු කරන්නට කැමැත්තෙමු. බුදුන් වහන්සේ සමග ද වාද කිරීමට ඇතැම් බ්‍රාහ්මණ පඬිවරු පැමිණියහ. එවැනි මහා තාර්කිකයෙකි සච්චක බ්‍රාහ්මණයා. බුදුන් වහන්සේ මෙම සංකීර්ණ ආගමික රටාවේ දී ක්‍රියා කළේ සාමයික සහජීවනය තහවුරු කරන ආකාරයට ය. දීඝ නිකායේ බ්‍රහ්මජාල සුත්‍රයෙහි සඳහන් පරිදි බුද්ධ කාලීන භාරත දේශයේ දෘෂ්ටීන් දෙසැටක් පැවත ඇත. බුදුන් වහන්සේ අන්‍යාගමික පැවිද්දන් හා ඔවුන්ගේ ඉගැන්වීම් හෙළා දැකීමට කිසි දිනක ඉදිරිපත් නොවුහ. එසේ ම ඕනෑම ආගමික ගුරුවරයෙකුගේ ඉගැන්වීම් වල ඇති යහපත් ගුණාංග බුදුන් වහන්සේ අගය කළහ. උන්වහන්සේ නොයෙක් ආගමික ගුරුවරුන් වෙත වැඩියහ. ඔවුන් සමග සතුටු සාමීචියෙහි යෙදී සිටියහ. ඇතැම් ආරාම වලට බුදු රදුන් වැඩම කර වූ අවස්ථාවේ ඒ ආගමික ගුරුවරු තම ශිෂ්‍යයන් නිහඬ කරවා උන්වහන්සේ ව ගෞරවයෙන් පිළිගත්හ.

චුල සකුළුදායි පරිබ්‍රාජක ගුරුවරයා බුදුන් වහන්සේ තම ආරාමය ට වැඩම කරනවා දැක සිය ශිෂ්‍ය පිරිස නිශ්ශබ්ද කරවීය. එසේ ම බුදුන් වහන්සේ වච්ඡගොත්ත පරිබ්‍රාජකයාගේ ආරාමයට ද වරින් වර වැඩම කළහ. කලක ට පසුව තම ආරාමය ට බුදුන් වඩිනු දුටු වච්ඡගොත්ත පරිබ්‍රාජකයා පෙරමගට ගොස් උන්වහන්සේ ව ගෞරව පුර්වකව පිළිගෙන ‘එන්න ස්වාමීනි, බොහෝ කාලයකින් මෙහි වැඩියේ, මෙන්න ආසනය, ඉදිගන්නැ’යි ගෞරවාන්චිත ව ප්‍රකාශ කර සිටියේය (තේවිජ්ජ වච්ඡගොත්ත සුත්ත – මජ්ජිම නිකාය). ආගමික මත භේද මත විරසක වී සිටි මේ යුගයේ බුදුරදුන් අනුගමනය කළ ආගමික සහනශීලිතාව කුමක්ද යන්න මෙයින් පැහැදිලි කර ගැනීම අපහසු කාර්යයක් නොවේ. එයින් පැහැදිලි වන්නේ බුදුරදුන් කිසිම ආගමික සම්ප්‍රදායක් හෙළා නොදුටු බවය.

ආගමික නිකායයන් අතර බොහෝ විට මත ගැටුම් ඇති වන්නේ එක් ආගමක් අත හැර අනිත් ආගම වැළඳ ගැනීමේදී ය. බුදුන් වහන්සේ වෙත පැමිණ ධර්මය අසා ප්‍රසාදයට පත් ප්‍රධාන පෙළේ ජෛන ශ්‍රාවකයන් දෙදෙනෙකු වූ උපාලි ගෘහපතියා සහ සීහ සේනාපතියා බුදුන් සරණ යාමට ඉල්ලා සිටි විට උන්වහන්සේ වදාරා සිටියේ ඉක්මන් නොවන ලෙසය. එහෙත් බුදුන් සරණ යාමට අවශ්‍ය බව ඔවුහු දැඩි ලෙස කියා සිටියහ. මෙහි දී බුදුන් වහන්සේ ඒ දෙදෙනා ට කොන්දේසියක් ඉදිරිපත් කළහ. එම කොන්දේසිය නම් තමන් බුදුන් සරණ ගියත් ජෛන ශාස්තෘවරයා ට කළ සැළකිලි සංග්‍රහ ආදිය එසේ ම පවත්වා ගෙන යාමට ක්‍රියා කළ යුතු බව ය. ඔවුහු එය පිළිගත්හ. දහම් කෙරෙහි අපහාසාත්මක අයුරින් කටයුතු කිරීම පොදුවේ වර්තමාන සමාජයේ දක්නට ඇති ලක්ෂණයකි. මේ පිළිබඳ ව බුදුන් වහන්සේගේ ඉගැන්වීම් කුමක්දැ’යි විමසා බලමු.

දීඝ නිකායේ බ්‍රහ්මජාල සූත්‍රයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වා ඇත.

“බුදුරජහු: මහණෙනි, පිටස්තර අය මට හෝ ධර්මයට හෝ භික්ෂු සංඝයාට හෝ දොස් කියතොත් නුගුණ කතා කරතොත් තොප ඒ ගැන කෝප විය යුතු නැත. අසතුටු නොවිය යුතුය. සිත අමනාප නොකර ගත යුතුය. අනුන් මට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස් කියන විට නුගුණ කතා කරන විට තොප කෝප වෙතොත් අසතුටු වෙතොත් අමනාප වෙතොත් එයින් අනතුරක්, අලාභයක්, හානියක් වන්නේ තොපටමය. එසේ දොස් කියන විට තොප අමනාපකම් දක්වතොත් ඔවුන් ඒ කියන දෙය ඇත්තද නැත්තද කියා තොපට තේරුම් ගත හැකිද? වටහා ගත හැකිද?

භික්ෂුහු: වටහා ගත නොහැක ස්වාමීනි. කෝපවූ අමනාපවූ නොසතුටු සිතකින් යමක ඇත්ත නැත්ත තේරුම් ගත නොහැකිය.

බුදුරජහු: මහණෙනි, අනුන් මට හෝ දහමට හෝ සඟනට හෝ දොස් කියතොත් එහිදී තොප කෝප නොවී අමනාප නොවී, මේ කාරනා නිසා ඔබ කියන දෙය අසත්‍යයකි, නැති දොස් කීමකි. ඔබ කියන දෝසය අප තුල නැතැයි කරුණු කිව යුතුය. එසේම මහණෙනි, අන් අය මගේ හෝ දහමෙහි හෝ සඟනගේ හෝ ගුණ කියත්නම් එහිදී තොප ඒවායින් උදම් විය යුතුද නොවේ. උඩඟු විය යුතුද නොවේ”
ඕනෑම කෙනෙකු ට ඕනෑම ආගමිකයෙකු ට කවර වූ හෝ කාරණයක් උන්වහන්සේ පැහැදිලි කර දුන්නේ කාරුණිකත්වයෙන් හා මුදු මොලොක්භාවයෙන් යුක්තව ය. උන්වහන්සේ කිසි විටෙකත් තම දේශනයෙන් අන්‍යයන් ප්‍රකෝපය ට පත් නොකළහ. බුදුන් වහන්සේගේ ආගමික සහනශීලිතාවන් පැහැදිලි වන්නේ සියලුම ආගමික දෘෂ්ටීන් කෙරෙහි දැක්වුයේ මිත්‍රශීලී සුහද ආකල්පයක් බවයි.

අරහත් ධජය පොරවා සිටින ඥානසාර හාමුදුරුවන්ගෙන් අප අපේක්ෂා කරන්නෙත් බුදුන් වහන්සේ ලබා දී ඇති අලංකාර පුර්වාදර්ශයයි. නමුත් උන්වහන්සේගේ හැසිරීම බුද්ධ චීවරයට සුදුසු එකක් දැයි යන්න බෞද්ධ නායකයින් විසින් තීන්දු කළ යුතු කාලය එළඹ තිබෙනවා නොවේ ද? මෙසේ පවසමින් ‘අල්ලාහ්’ යන්නෙන් අදහස් වන්නේ කුමක්ද යන්න පිළිබඳ විග්‍රහයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නෙමු.

ඉස්ලාමීය දේව සංකල්පය පිළිබඳ ව වඩාත් නිවැරදි විග්‍රහයක් සඳහා අපි පහතින් උපුටා දක්වා ඇති අල් කුර්ආනයේ 112 පරිච්ඡේදය වෙත අවධානය යොමු කරමු.

අතිඋතුම් අල්ලාහ් මෙසේ පවසයි: “අල්ලාහ් ඒකීය යැයි (නබිවරය) පවසන්න.

අල්ලාහ් (සෙස්සන් විසින්) පතනු ලබන (කිසිවෙකුගේ) අවශයතාවක් නොමැත්තෙකි.

ඔහු කිසිවෙකු ජනිත නොකළේය. තව ද ඔහු ජනිත කරවනු නොලැබුවේය. තව ද ඔහුට සමාන කිසිවක් නොමැත”. (අල් කුර්ආන් 112:1-4)

දේව සංකල්පය පිළිබඳ සාකච්ඡා කිරීමේදී මුස්ලිම් නොවන සහෝදර ජනයාගේ සිත් තුළ බොහෝ විට ඇතිවන්නේ දේවාලයක වැඩ හිඳිනා බව විශ්වාස කරන දේව ආකෘතීන්ය. මෙලෙස දේවත්වය ලබා දී නැමදුම් කරන දෙවිඳුන්ගේ ඓතිහාසික තොරතුරු විමසීමේදී දකින්නට ඇත්තේ මේ සැවොම සමාජයේ ජීවත් වී අප අතරින් සමුගත් යහ මිනිසුන් බවය. මෙලෙස මිනිසුන්ට දේවත්වය ආදේශ කිරීමෙන් වැළකී සත්‍යය දෙවිඳුන් කවරේ ද යන්න පිළිබඳ ඉතාම වැදගත් කරුණු ඉහත අල් කුර්ආන් වැකියෙහි දැක්වේ. මෙම වැකි හතරකින් යුත් අල් කුර්ආන් පරිච්ඡේදය දේවත්වය පිළිබඳ උරගල ලෙස හැඳින්විය හැක. අල්ලාහ් පාරභෞතිකය, අල්ලාහ් ට සමාන කිසිවක් නොමැත. මේ හේතුවෙන්ම ලොව කිසිදු පල්ලියක ප්‍රතිමා හෝ දේව පින්තුර නොමැත. දෙවිඳුන්ට නැමදුම් කරන්නේ දේව සවිඤාණකත්වය සිත්හි මෙනෙහි කර ගනිමිනි. ඒක දේවත්වය යුදෙව් හා කිතුනු ආගම්වලටද පොදු වුවකි. ඥානසාර හාමුදුරුවන් අපහාසයට ලක් කරන ඉස්ලාමීය ඒකදේවත්වය පිළිබඳ මුස්ලිම් නොවන විද්‍යාධරයින්, විද්‍යාඥයින් හා පර්යේෂකයින් ඉදිරිපත් කරන අදහස් කිහිපයකට ඔබතුමන්ලාගේ අවධානය යොමු කරවන්නට කැමැත්තෙමු.

“දේව විශ්වාසය” පිළිබඳ සහජ හැඟීම (ෆිත්රා)

ඉතිහාසය දෙස අවධානය යොමු කිරීමේදී බහුතරයක් ජනයා සර්වබලධාරී මැවුම්කරුවෙකු නොඑසේනම් දෙවිකෙනෙකු විශ්වාස කර ඇති බව හා විශ්වාස කරමින් ඉන්නා බව අපට වටහා ගත හැකියි. මිනිස් මනසේ තිබෙන යම් හේතුවක් නිසා මෙසේ විශ්වාස කරන බව මෙතුළින් අපට පැහැදිලි වෙයි. ඇත්තෙන්ම සෑම මිනිසෙකුගේම චෛතසිකයේ අභ්‍යන්තරයේ මුළු මහත් විශ්වයට අධිපති ගුප්ත පාලන ශක්තියක් තිබෙනවා යන හැඟීමක් තිබෙනවා. එනම් විශ්වයට මැවුම්කරුවෙකු සිටිනවා යැයි පිළිගැනීම මිනිසුන්ගේ මනසේ තැන්පත් වී තිබෙන ස්වාභාවික විශ්වාසයක්. මෙම විශ්වාසය ඔවුන්ට ලැබී තිබෙන්නේ උපතින්මයි. මනෝවිද්‍යා විද්වතුන්ද මේ බව පැහැදිලිවම සඳහන් කර තිබෙනවා.

2008 ජුලි 26 වැනි දින ඕස්ට්‍රේලියාවේ පළ කෙරුණු “The Age” නම් පුවත්පතට ලිපියක් සපයමින් බාර්නි ස්වාට්ස් නම් ලේඛකයා පහත සඳහන් අයුරින් ඉතා වැදගත් තොරතුරු කිහිපයක් ඉදිරිපත් කොට තිබෙනවා. (https://www.theage.com.au/…/infants-have-natural-belief…). 

“ඔක්ස්ෆඩ් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාඥවරියක් පවසා සිටි පරිදි බිළින්දන් දේව විශ්වාසය හා තදින් බැඳී ඇති අතර අදේවත්වය ඔවුන් පසුව අත්කර ගන්නක් බවයි. බටහිර ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලය මගින් ‘දහම හා මනෝවිද්‍යාව’ යන තේමාව යටතේ පවත් වන ලද සම්මන්ත්‍රණයකදී, පෙර පාසැල් දරුවන් පවා ඔවුන්ගේ භෞතික ලෝකය පිළිබඳ අවබෝධය තුළ දේවධර්ම සංකල්පයන් නිර්මාණය කළ බවද ආචාර්ය ඔලිවෙරා පෙට්‍රොවිච් පවසා සිටියාය. දහම් පිළිබඳ මනෝවිද්‍යාත්මක විශේෂඥවරියක් වන ආචාර්ය ඔලිවෙරා පෙට්‍රොවිච් පවසා සිටියේ මිනිසාගේ ස්වභාවිකත්වය දේව විශ්වාසය ද නැතිනම් අදෙවත්වය ද යන්න පිළිබඳ මනෝවිද්‍යාඥයින් අතරේ විවාදයක් තිබු අතර ඇගේ මතය වුයේ දේව විශ්වාසය උගන්වනු ලබන්නක් නොව ස්වභාවයෙන් ම වර්ධනය වන්නක් බවයි. ‘The Age’ සඟරාව වෙත ඇය පවසා සිටියේ දේව විශ්වාසය මිනිස් චෛතසිකයට ඉතා තදින් ම බැඳී ඇති බවයි. ආචාර්ය පෙට්‍රොවිච් පවසා සිටියේ තම නිගමනයන් විවිධ අධ්‍යයනයන් මත පදනම් වූවක් වන අතර විශේෂයෙන්ම වයස අවුරුදු 4 සිට 6 දක්වා වූ ජපාන දරුවන් අතරේ හා ආගමික විශ්වාසයන් හතකට අයත් වූ වයස අවුරුදු 5 සිට 7 දක්වා වූ බ්‍රිතාන්‍ය දරුවන් 400 අතරේ කළ අධ්‍යයනයන් මෙම නිගමනයට ඒමට උපකාරී වූ බවයි. අදේවත්වය සහතික වශයෙන්ම තමන් විසින් අත්කර ගන්නා ස්ථාවරයක් වන අතර මිනිස් සහජත්වයේ කොටසක් නොවන බව ඇය විසින් තරයේම පවසා සිටින ලදී”. මේ පිළිබඳ වැඩි විස්තර ආචාර්ය ඔලිවෙරා පෙට්‍රොවිච්ගේ “Child’s Theory Of The World” නම් පොතේ සඳහන් වෙයි [Dr. Olivera Petrovich, “Childs Theory of World”]. 

බ්‍රිතාන්‍ය ‘ටෙලිග්‍රාෆ්’ පුවත්පතේ ආගමික කටයුතු පිළිබඳ වාර්තාකරු මාටින් බෙක්ෆොඩ් විසින් එම පුවත්පතට 2008 නොවැම්බර් 24 දින ඉදිරිපත් කළ වාර්තාවක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු. (https://www.telegraph.co.uk/…/Children-are-born…).

ඒ වගේම ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව හා මනස පිළිබඳ මධ්‍යස්ථානයේ ජ්‍යේෂ්ඨ පර්යේෂකයෙකු වූ ආචාර්ය ජස්ටින් බැරට් (Dr. Justin Barrett) ද මිනිසුන් තුළ තිබෙන මෙම සහජ දේව විශ්වාසය පිළිබඳව මෙසේ පවසයි:

“පසුගිය දශකයක පමණ කාලයක් තුළ ඒකරාශී වූ විද්‍යාත්මක සාක්ෂීන් විමසුමකට ලක් කිරීමේදී තවත් වැදගත් කරුණක් අනාවරණය වෙයි. එනම් අපි පෙර සිතුවාට වඩා බොහෝ දේවල් ළමා මනසේ වර්ධනය තුළ සහජයෙන්ම අන්තර්ගත වී තිබෙනවා. ස්වාභාවික ලෝකය නිර්මාණය වූ එකක් හා එයට අරමුණක් ඇති බවත් යම් ආකාරයක ඉහල බුද්ධියක් මෙම අරමුණ පසුපස සිටින බවත් පිළිගැනීමේ හුරුපුරුදු බවක් ළමා මනසේ ස්වාභාවිකවම ඇති වී තිබෙන බව දැකගන්න පුළුවන්”

ආචාර්ය ජස්ටින් බැරට් (Dr. Justin Barrett) පවසන අන්දමට යොවුන් වියේ සිටින්නන් ලොව සියලු දෑ අරමුණක් ඇති ව නිර්මාණය කොට ඇති බව සිතන නිසා ඔවුන් අතර උත්තරීතර දෙවිකෙනෙකු විශ්වාස කිරීමේ පූර්ව නැඹුරුවක් තිබෙනවා. එනම් කෙනෙක් දෙවියන්ව(නිර්මානකරුවාව) විශ්වාස කරන්නේ මිනිස් මනස එසේ විශ්වාස කිරීමට ස්වාභාවිකවම හැඩ ගැසී තිබීම නිසයි. ජස්ටින් බැරට් පවසන්නේද මෙම විශ්වය නිර්මාණය කර පරිපාලනය කරන්නාවූ නිර්මාණකරුවෙකු සිටිනවා යන විශ්වාසය සමාජයේ බලපෑමෙන් කෙනෙකුගේ සිත තුළ ඇති නොවන බවයි [Dr. Justin L. Barrett, Jonathan A. Lanman, “The Science of Religious Beliefs”]. දෙමව්පියන් විසින් හෝ පාසල් අධ්යාපනය තුළින් දේවත්වය පිළිබඳ ඉගැන්වීමක් නොකළ ද කුඩා දරුවන් තුළ දේව විශ්වාසයක් ඇති වන බව පවසන ඔහු කාන්තාර දූපතක තනි ව හදා වඩා ගත්තත් මෙම විශ්වාසය ඇතිවීම වැළැක්විය නොහැකි බව ඔහුගේ අවසාන තීරණයයි.

“අපි ළමුන් කිහිපදෙනෙක් එක් දූපතකට දැමුවාට පසු ඔවුන් එහි ඔවුන් විසින්ම ස්වාභාවිකව හැදී වැඩුනා නම් ඔවුන් දෙවියන්ව (නිර්මානකරුවාව) විශ්වාස කරනවා” [Dr. Justin L. Barrett, “Why Would Anyone Believe in God?”].

මෙම පරීක්ෂණ වලින් අපට පෙනී යන්නේ මිනිසා සහජයෙන් අදේවවාදියෙකු හෝ නාස්තිකවාදියකු නොව දෙවිකෙනෙක් විශ්වාසකරන්නෙක්, දේවවාදියෙක් ලෙස උපදින බවයි. මුහම්මද් ﷺ ධර්ම දුතයාණන් වරෙක පවසා සිටියේ සෑම දරුවෙක් ම මෙම පිවිතුරු සහජ හැඟීම (ෆිත්රා) සමග බිහි වන අතර එම දරුවාගේ දෙමව්පියන් විසින් විවිධ විශ්වාසයන් කරා ඔහු ව යොමු කර වන බවයි [Sahih Muslim, Hadees No:2658]. මෙම සත්‍යය ස්වභාවයෙන් බැහැර ව එම සත්‍යය විශ්වාසයට පටහැණි ආදේශකයන් තබා ගැනීමයි අද සිදුවෙමින් පවතින්නේ. එනම් සමාජයේ කිසිම බලපෑමකින් තොරව මිනිසුන් හැදී වැඩුනා නම් ඔවුන් එක් දෙවි කෙනෙකු විශ්වාස කරන පිරිසක් ලෙස සිටිනවා නියතයි. මෙය ඇතැම් ගවේෂකයන්ගේ ගවේෂණ ප්‍රතිපල වලින්ද සනාථ වෙනවා.

‘එමිල් ඩර්ක්හයිම්’ නමැති සමාජ විද්‍යාඥයා විසින් බාහිර ලෝකය සමග කිසිඳු සබඳතාවකින් තොරව වර්ෂ දහස් ගණනක් තිස්සේ ඕස්ට්‍රේලියාවේ ප්‍රාථමික සමාජ සංස්ථාවන් සහිත ව ජීවත් වූ ආදිවාසී ජන සමුහයක් පිළිබඳ ව පවත්වන ලද පර්යේෂණයක කරුණු අන්තර්ගත කොට ඩබ්ලිව්. එස්. එෆ්. පිකරින්ග් විසින් සකස් කරන ලද “Durkheim on Religion” නමැති ග්‍රන්ථයේ පහත සඳහන් අයුරු කරුණු විග්‍රහ කොට තිබෙනවා.

“මෙම ආදිවාසී පිරිසගේ දෙවිඳුන් සදා ජීවමාන සදාතනිකයෙකි. ඔහුගේ ආරම්භය අන් කිසිවක් මත නොමැත. විශ්වයේ සියල්ල කෙරෙහි බලය ඇත්තෙකි. හිරු සඳු ආදී සියලු තාරකාවන් පාලනය කරන්නේ ඔහුය. සියල්ලෙ හි නිර්මාතෘ ඔහුය..” [W. S. F. Pickering, “Durkheim on Religion” Routledge and Kagan Paul, London 1975].

මෙම ආදිවාසී ජන සමුහයේ දේව විශ්වාසය හා ඉස්ලාමයේ දේව විශ්වාසය අතරේ කිසිඳු පරස්පරතාවක් නැහැ. බාහිර සමාජ බලපෑම් කිසිවක් නොමැති ව තම ජන්මතාවට අනුකුල ව ‘විශ්වාසය’ සකස් කර ගන්නට යමෙකුට අවස්ථාවක් ලැබෙන්නේ නම් ඔහුගේ තත්ත්වය සත්‍යය වශයෙන්ම සැකසෙන්නේ මේ අයුරු බව කිසිම සැකයක් නැහැ. මෙම කරුණු මගින් සනාථ වන්නේ ‘දේව විශ්වාසය’ මිනිසාගේ සහජ හැඟීම් වලින් එකක් බව නොවෙයිද? 

කෙසේනමුත් සහජයෙන් හිමිවෙන මෙම දේව විශ්වාසය, සමාජයේ විවිධ බලපෑම් නිසා මිනිස් මනසේ සැඟවෙන්න පුළුවන්. මෙම සමාජ බලපෑම නිසා කෙනෙක් සත්‍යය දෙවිඳුන් වෙනුවට වෙනත් දෙවිවරුන් විශ්වාස කිරීමට යොමු වෙනවා. මනසේ සැඟවී තිබෙන සැබෑ සහජ දේව විශ්වාසය අවදි කිරීමට ඇතැම් සාධකයන් උපකාර වෙනවා. මින් එකක් වන්නේ හදිසි අපදාවන්ය. හදිසි ආපදාවක් අනතුරක් ඇති වූ විට මිනිසා විසින් විශ්වයේ සත්‍ය වූ ශක්තිය වෙනුවෙන් ඇති කර ගනු ලැබූ ආදේශකයන් අමතක වී ගොස් ඔහුගේ සිත අභ්‍යන්තරයෙන් මතු වී එන්නේ සත්‍යයේ හඬයි. ගසකට පිළිරුවකට මිනිසෙකුට තැබූ ආදේශය අමතක වී ගොස් ඔහුගේ සිත අභ්‍යන්තරයෙන් විශ්වයේ සැබෑ ශක්තියට ආමන්ත්‍රණය කිරීමේ හඬ ඉස්මතු වී එන හැටි අප විවිධ අවස්ථාවන් හි දැක තිබෙනවා. අදේවත්වයේ මග අනුගමනය කරන්නන් පවා මෙලෙස අසරණ වූ අවස්ථාවන් හි සරණ පතා හඬ නගන හැටි අප දැක තිබෙනවා. මීට අමතරව සඟරාවක සඳහන් වූ ඉතා වැදගත් තොරතුරු කිහිපයක් ඔබගේ අවධානය පිණිස ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු.

ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාලයක් වූ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට ශිෂ්‍යයින් පිරිසක් තමන් තෝරා ගත් විෂය ධාරාවක් ඔස්සේ ආචාර්ය උපාධිය වෙත යොමු වූ පර්යේෂණාත්මක අධ්‍යයන පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වුණා. මෙම ශිෂ්‍යයින්ගේ අයදුම්පත් පරීක්ෂාකර බැලු මහාචාර්ය මණ්ඩලයට එක් පොදු ලක්ෂණයක් මෙම අයදුම්පත් හි දකින්නට තිබුණා. එනම් එක් ශිෂ්‍යයෙකු හැර අන් සියල්ලම ‘දහම’ යන කොටුව සඳහා ලබා දී තිබුණේ තමන් අදේවවාදී යන අර්ථය ඇති පිළිතුරුයි. මෙම අයදුම්පත් පරීක්ෂා කර බැලූ මහාචාර්ය මණ්ඩලය ශිෂ්‍යයින්ගේ මෙම පොදු සාධකය පදනම් කර ගෙන පර්යේෂණයක් කරන්නට සැලසුමක් සකස් කර ගත්තා. මෙම විශ්ව විද්‍යාලයේ පර්යේෂණාත්මක පාඨමාලාවට සහභාගි වන ශිෂ්‍යයින් හට තම සතුට ප්‍රකාශ කිරීමක් ලෙස පහතින් පියාසර කළ හැකි හා පිනුම් ගැසිය හැකි ගුවන් යානයක් තෝරා ගෙන විශ්ව විද්‍යාලය පිහිටා ඇති නගරයේ සංචාරයක යෙදී ආපසු පැමිණියායින් පසු මහාචාර්ය මණ්ඩලය සමග තේ පැන් සංග්‍රහයකට සහභාගී වීමට ආරාධානා කරනු ලැබූවා. ගුවන් යානය ගුවන් ගත වී ටික වේලාවකට පසු යානයේ පාලනය තමන් වෙත නොමැති බව නිවේදනය කරන ලෙස මහාචාර්යවරුන් විසින් ගුවන් යානයේ නියමුවාට උපදෙස් දී තිබුණා. ‘කරුණාකර අවධානය යොමු කරන්න! ගුවන් යානයේ පාලනය මාගෙන් ගිලිහී ගොස් ඇත! කරුණාකර ආසන පටි පැළඳ අසුන්ගෙන සිටින්න!’ මෙවන් නිවේදනයක් ගුවන් යානයක් මගීන් සමග ගුවන්ගත වූවායින් පසු නියමුවා විසින් නිකුත් කළ විට සියලුම ගුවන් මගීන්ගේ සිතෙහි ඇති විය හැකි එකම හැඟීම නම් ගුවන් යානය කඩා වැටී සියල්ලන්ම ජීවිතක්ෂයට පත් වීමේ තත්ත්වයට පත් වනු ඇතැයි යන්නයි.

ඉහත ගුවන් යානයේ එක් අයෙකු හැර සියල්ලන්ම අදේවාදීන්ය. අදේවවාදියෙකුට මරණින් මතු ජීවිතයක් පිළිබඳ විශ්වාසයක් නැහැ. ඔහුට මරණය යනු බියක් ජනිත කළ යුතු කාර්යයක් නොවේ. කෙසේ නමුත් ගුවන් යානය කඩා වැටී විවිධ ආකාරයේ බරපතළ කායික පීඩා ඇති විය හැකි බව හැඟෙන්නට ඉඩ තිබෙනවා. මෙවන් බියකරු තත්ත්වයක් තුළ ගුවන් යානයේ සිටි මගීන්ගේ ප්‍රතිචාරය කුමක් විය හැකි දැයි මොහොතකට ආවර්ජනය කර බලන ලෙස ඔබගෙන් අප කාරුණික ව ඉල්ලා සිටිනවා. මහාචාර්යවරුන්ගේ උපදෙස් පරිදි ගුවන් යානය තුළ සිදු වන දෑ සටහන් කර ගැනීම පිණිස වීඩියෝ කැමරා සවිකර තිබූ නිසා නියමුවාගේ පාලනයෙන් ගුවන් යානයේ පාලනය ගිලිහී ගියා යැයි පැවසු මොහොතේ සිට සිදු වූ සියල්ල වාර්තා වී තිබුණා. තමන්ගේ අයදුම්පත භාරදෙන මොහොතේ වීරයින් ලෙසින් තමන් අදේවවාදීන් යැයි පැවසු සැවොම ගුවන් යානය තුළ හඬා වැටෙමින් ‘අහෝ දෙවියනි! අපව ආරක්ෂා කරනු මැනව!’ වැනි වදන් පවසමින් කන්නලව් කළ ආකාරය සැබැවින්ම හද කම්පා කරවන සුළුයි. අදේවවාදීන් ලෙස වහසිබස් දොඩවන්නන් භයානක තර්ජනයකට මුහුණ දෙන අවස්ථාවක තම හදවතේ ජන්මයෙන්ම සනිටුහන් වී ඇති ඒක දේවත්වය ඉස්මතු වී මෙලෙස එම විශ්වයේ අධිපති දෙවිඳුන්ගෙන් උපකාර ඉල්ලමින් කන්නලව් කරන තත්ත්වයන් අප දැක තිබෙනවා.

The primordial covenant results in the innate impulse within people to seek out the higher power that they can sense, as they have done in some form or another throughout all of recorded history, to the point that some scientists today argue that belief in God or a higher power is hardwired into our genes. (Hamer, Dean H. The God Gene: How Faith Is Hardwired into Our Genes. (New York: Doubleday, 2004), 6.)

ඉහත උපුටාගැනීම පරිවර්තනය නොකොට එලෙසම තබන්නට අදහස් කළෙමු.

ඇමෙරිකානු එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියානු රාජ්‍ය විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජෝන් එම්. සින්බලා මහතා විශ්වයට ආරම්භයක් ඇති බවත් එසේ ආරම්භයක් ඇති බවට පිළිගැනීමට තාපගති විද්‍යාවේ දෙවැනි සිද්ධාන්තය පමණක් ප්‍රමාණවත් බව පවසයි. තවදුරටත් කරුණු දක්වන ඒ මහතා ආරම්භයක් ඇති විශ්වය නිර්මාණය කළ හැක්කේ මෙම දෙවැනි සිද්ධාන්තයෙන් බාහිර ව පවතින ශක්තියකට බවත් විද්‍යාත්මක හේතු දක්වමින් පැහැදිලි කරයි. එම බාහිර ශක්තිය අන් කිසිවක් නොව නිර්මාතෘ දෙවිඳුන් බවත් ඒ මහතා විග්‍රහ කරයි. මෙහි විස්තර පහත සඳහන් වෙබ් සම්බන්ධකයෙන් ලබා ගත හැක.

http://www.personal.psu.edu/faculty/j/m/jmc6/second_law.html

මිනිසාගේ සම්භවය

දේව නිර්මාණයට අනුව පළමු මිනිසා සහ ස්ත්‍රිය නිර්මාණය කළ ආකාරය එක්වරක් පමණක් සිදු වු ඓතිහාසික සිද්ධියකි. ඉන් පසුව මිනිසාගේ නිර්මාණය සිදු වුයේ හා සිදුවෙමින් පවතින්නේ ස්ත්‍රියකගේ හා පුරුෂයෙකුගේ ලිංගික සම්බන්ධතාව පදනම් කරගෙනය. වර්තමානයෙහි අපට දක්නට ඇත්තේ මෙලෙසින් නිර්මාණය වෙමින් පවතින්නාවු මිනිස් පරපුරයි. විද්‍යාවට ගෝචර වන්නේ වත්මනෙහි සිදුවෙමින් පවතින්නාවු මෙම මිනිස් නිර්මාණයයි. මෙම මිනිස් නිර්මාණය පිළිබඳව ඇති නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන් කොතෙක් දුරට විශ්වයේ පාලක පරම අධිපති විසින් පහළ කරන ලද තොරතුරු හා සැසඳේ ද යන්න සොයා බැලීමෙන් අපට පළමු මිනිසාගේ හා ස්ත්‍රියගේ නිර්මාණය පිළිබඳ ව ඇති කරුණු පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරිමට හැකි පදනමක් ගොඩ නගා ගන්නට හැකිවේ යැයි සිතන්නෙමු.
මෙම තොරතුරු විමසීම නුතන කලල විද්‍යාත්මක කරුණු ගැන අවධානය යොමු කරමින් ආරම්භ කරන්නට අපේක්ෂා කරන්නෙමු. මෙහි කලල විද්‍යාවට අදාළ වැදගත් තොරතුරු අල් කුර්ආනයේ වැකි සමග සැසඳීමක් කරමින් කරුණු ඉදිරිපත් කරන්නට අපහසු වි ඇත්තේ මෙම ලිපියේ ප්‍රමාණය සිමා කරන්නට සිදු වි ඇති හෙයිනි. එහෙයින් ලොව පිළිගත් ප්‍රධාන පෙළේ කලල විද්‍යාඥයින් අල් කුර්ආනයේ ඉගැන්වීම් තුල ගැබ්වී ඇති කලල විද්‍යාත්මක තොරතුරු සසඳා දැක්වූ මත පළමුව ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු. දැනට ලොව ප්‍රධාන පෙළේ වෛද්‍ය විද්‍යාලයන්හි නාරිවේදය පශ්චාත් උපාධිය හදාරණ සිසුන් කලල විද්‍යාව හැදැරිම සඳහා උපයෝගි කරගන්නේ කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කීත් මුවර්(Keith Moore) විසින් ලියන ලද“The Developing Human” යන ග්‍රන්ථයයි. භාෂා අටකට පරිවර්තනය කොට ඇති මෙම ග්‍රන්ථය ඇමරිකානු විද්වත් මණ්ඩලයක් විසින් එක් අයෙකු විසින් ලියන ලද ශ්‍රේෂ්ඨතම විද්‍යාත්මක ග්‍රන්ථය ලෙස තෝරා ගෙන ඇත. කැනේඩියානු ව්‍යුහ විද්‍යාඥයින්ගේ සංගමය මගින් මෙම ක්‍ෂේත්‍රයේ දෙනු ලබන සම්මානනීය තිළිණය වු J.C.B.Grant සම්මානය 1984 දි එතුමාට ප්‍රදානය කරන ලදී. එතුමාගේ එක් ප්‍රකාශනයක් “This is the Truth”යන ග්‍රන්ථයෙන් ගෙන හැර දක්වන්නට කැමැත්තෙමු. එතුමාගේ මෙම ප්‍රකාශනයන් අඩංගු දේශනයට අන්තර් ජාලයේ https://www.youtube.com/watch?v=gC2_IMz9qcY&t=29s සහ https://www.youtube.com/watch?v=upa4BSH7ua4&t=51s වෙබ් අඩවිය මගින්ද ඔබට සවන් දිමට හැකිය. එහි සංක්ෂිප්ත විස්තරයක් පහතින් දක්වා ඇත්තෙමු.
“අප විසින් කලල විද්‍යාව අනුව අල්කුර්ආනයේ හා නබිවරයාගේ වදන්වල සඳහන් කරුණු ගැන මහාචාර්ය මුවර්ගේ විශ්ලේෂණාත්මක අදහස් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි විට මෙම තොරතුරු සොයා බැලූ එතුමා පුදුමයෙනුත් පුදුමයට පත් විය. පසුගිය දශක තුන ඇතුළත විද්‍යාඥයින් විසින් කලලය හා කලලයේ වර්ධන අවධින් සම්බන්ධ ව සොයාගත් කරුණු මෙතරම් සවිස්තරාත්මකව හා පුර්ණ නිරවද්‍යතාවකින් යුක්තව ශතවර්ෂ 14කට පෙර මුහම්මද් තුමා විසින් හෙළිදරව් කර ඇත්තේ කෙසේද කියා සිතා ඔහු අතිශයින් මවිතයට පත් විය. 1981 දි සෞදි අරාබියේ දමාම් නගරයේ පවත්වන ලද හත් වන වෛද්‍ය සම්මන්ත්‍රණයේදි මහාචාර්ය මුවර් මෙසේ පැවසිය. “මනුෂ්‍ය වර්ධනය සම්බන්ධයෙන් අල් කුර්ආනයේ අඩංගු කරුණු පිළිබඳ ව පැහැදිලි කිරීමක් කරන්නට අවස්ථාවක් ලැබීම ගැන අතිශයින් සතුට ට පත් වෙමි. මෙම විස්තර මුහම්මද් තුමාට ලැබී ඇත්තේ දෙවිඳුන්ගෙන්ම බව මට ඉතාමත්ම හොඳින් පැහැදිලිය. මෙයට ප්‍රධාන හේතුව මෙම දැනුම මනුෂ්‍ය වර්ගයා තම පර්යේෂණ මගින් දැන ගන්නේ එතුමාට ශතවර්ෂ කිහිපයකට පසුවයි.මේ අනුව මුහම්මද් තුමා නිසැකවම හා නියත වශයෙන්ම දෙවිඳුන්ගේ ශ්‍රේෂ්ඨ නියෝජිතයෙක් බව ඉතා මනාසේ ඔප්පු වන්නේය”.

මිනිසාගේ නිර්මාණය පිළිබඳව එනම් ඩිම්බයක් හා ශුක්‍රාණුවක් සංශ්ලේෂණය වීමෙන් හටගන්නාවු (යුක්තානුවේ) කලලයේ වර්ධනය පිළිබඳව අල් කුර්ආනය අවුරුදු 1400 කට පෙර විද්‍යාඥයින් විසින් දශක කිහිපයකට පමණක් පෙර සොයාගත්තා වූ කරුණු ඉතා සවිස්තරාත්මකව හා පුර්ණ නිරවද්‍යතාවයකින් යුක්තව ඉදිරිපත් කිරීමට හැකි නම් පළමු මිනිසාගේ හා ස්ත්‍රියගේ නිර්මාණය පිළිබඳව අල් කුර්ආනයේසඳහන් කර ඇති කරුණු සත්‍යය බව අපට පිළිගන්නට සිදුවෙනවා නොවේද?

“අහස්හි සහ මිහිතලයෙහි කෙතරම් සංඥාවන් තිබේ ද? ඔවුහු ඒවා ගැන කිසිදු තැකීමකින් තොරව ඒවා පසු කර යති”. (අල් කුර්ආන් 12:105)

ඉස්ලාමිකයින්ගේ දේව විශ්වාසය පිළිබඳ ව උපහාසයයෙන්, හාස්‍යයයෙන් හා අපහාසාත්මකව නිතර කතා කරන ඥානසාර හිමියන් එවන් උසුළු විසුළු කිරීම් වලින් වැළකී අන් දහම් පිළිබඳ ව ගෞරවයෙන් කතාකරන්නේ නම් යෙහෙකැයි සිතන්නෙමු. එය උන්වහන්සේගේ චීවරයට ද ගෞරවයකි. තිරිංග නොමැතිව දොඩමළු නොවී කරුණාකර බුද්ධිය හා යථාර්ථය පදනම් කරගනිමින් කටයුතු කරන ලෙස ඉතා කාරුණික ව ඉල්ලා සිටින්නෙමු. ඉස්ලාමීය දේව සංකල්පයේ සත්‍යයතාව පිළිබඳ තව බොහෝ කරුණු ඇතත් ලිපිය බොහෝ දීර්ඝ වී ඇති හෙයින් මෙතැනින් අවසන් කරගන්නට තීරණය කළෙමු.

ඥානසාර හාමුදුරුවන් තවත් නිතර නගන චෝදනාවක් ආරම්භ වන්නේ “තවද ශුද්ධ වූ මාස 4 පසු වූ පසු වූ වහාම, පිළිම වන්දනාකරුවන් සහ බහුදේවවාදීන් දුටු දුටු තැන කපා කොටා ඝාතනය කරන්න….” යනුවෙනි. මෙය අල් කුර්ආනයේ නව වන පරිච්ඡේදයේ පස්වන වැකියේ කොටසක් යන්න අපගේ මතයයි. මීළඟ ලිපියෙන් මහාකාරුණික දෙවිඳුන්ගේ උපකාරයෙන් මේ පිළිබඳ විග්‍රහයක් ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරන්නෙමු. 

Attachments area
Preview YouTube video Prof Keith Moore converts to Islam after finding scientific facts about embryology in the Quran.
Preview YouTube video Embryology in the Qur’an lecture by Dr. Keith L. Moore (University of Illinois, 1990)

කර්තෘ: මනෝවිද්‍යා උපදේශක මොහොමඩ් දහලන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *