රාජකීය පණ්ඩිත ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ඉස්ලාමයට එරෙහිව නගන චෝදනා පිළිබඳ විග්‍රහය – 2

මෙම ලිපියෙන් ඥානසාර හිමියන් නිතර නිතර මාධ්‍යය සාකච්ඡාවලදී මතුකරන බරපතල චෝදනාවක් පිළිබඳ ව විග්‍රහයක් ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරන්නෙමු. මෙම විග්‍රහයන් මගින් ගෞරවණීය මහා සංඝරත්නයට හෝ බෞද්ධ දර්ශනයට හෝ කිසිදු ආකාරයක අපහාසයක් හෝ අපහසුතාවක් සිදුකිරීම අපගේ අරමුණ නොවන බව සහතික කොට පවසා සිටින්නෙමු. අප නිරතුරුව මහා සංඝරත්නයත් කිතුනු හා හින්දු පුජක පක්ෂය සමගත් සුහදත්වය සපිරි ගෞරවණීය සමීපතාවකින් කටයුතු කරන පිරිසක් වන්නෙමු. අපගේ මාතෘකාවට ප්‍රවේශ වන්නට පෙර කරුණු කිහිපයක් පිළිබඳ ව අදහස් දක්වන්නට කැමැත්තෙමු.

මෑතක දී සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමය මගින් zoom තාක්ෂනය ඔස්සේ පවත්වනලද සාකච්ඡාවක වාර්තාවක් ඥානසාර ස්වාමීන් වහන්සේ විසින් ලබාගෙන ඇති බව රුපවාහිනි නාලිකාවක පවත්වනලද සාකච්ඡාවකට සහභාගී වෙමින් උන්වහන්සේ විසින් පවසන ලදී. චමුදිත සමග පවත්වනලද මෙම සාකච්ඡාවේදී පාස්කු ප්‍රහාරයට සමාන ත්‍රස්ත ප්‍රහාරයකට සුදානම් වීමක් ඇති බවත් ඒ පිළිබඳ සියළු තොරතුරු උන්වහන්සේ සතුව ඇති බවත් පවසන ලදී. මෙසේ වාර්ගික හා ආගමික විරසකයක් ඇති කොට සහෝදර සිංහල ජනයාගේ සිත්සතන් තුල මුස්ලිම්වරු පිළිබඳ බියක් හා පිළිකුලක් ඇතිකිරීමට මුසාවාද දෙසාබා ඉන්පසු තමන් වහන්සේ එසේ නොපැවසූ බවට මාධ්‍යය ප්‍රකාශන නිකුත් කිරීමෙන් ඇති ප්‍රයෝජනය කුමක් ද? උන්වහන්සේ රටේ වෛරය හා ක්‍රෝධය වැපිරීමේ ඉතා පහත් හා පිළිකුල් සහගත ව්‍යාපාරයක නියැලී සිටින බව මෙයින් පැහැදිලි නොවන්නේ ද? කරුණාකර සියළු මාධ්‍යයන් මගින් උන්වහන්සේට දොරටු වසා තැබිය යුතු බවට කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. එම වාර්තාවේ රාජ්‍යය ආරක්ෂාවට තර්ජනයක් වන කරුණු අන්තර්ගත වී ඇත්නම් උන්වහන්සේගේ වගකීම විය යුත්තේ අපරාධ විමර්ශන කොට්ඨාශයට හෝ ත්‍රස්ත විමර්ශන අංශයට එම වාර්තාව ලබාදී පරීක්ෂණයක් ආරම්භ කොට වැරදි කරුවන් නීතිය හමුවට පැමිණවීම නොවේ ද? එසේ නොමැතිව එය ප්‍රසිද්ධියේ දක්වමින් මුසාවාදය පදනම් වූ පුරසාරම් දෙඩීම හා තිරිංග නොමැති දෙඩවිලි භික්ෂුත්වයට සුදුසු ක්‍රියාවක් විය හැක්කේ කෙසේද? එය පංච ශීලයේ පහත සඳහන් ශීලය කඩකිරීමක් නොවන්නේ ද?.

‘අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමී’ (හිමිකරුවන් විසින් නුදුන් අන් සතු දෑ සොර සිතින් ගැනීමෙන් වැළකීම වූ සික්ෂා පදය සමාදන් වෙමි) 

උන්වහන්සේ තවත් වරෙක මාධ්‍යය සාකච්ඡාවකට සහභාගී වෙමින් සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමයේ සභාපති හා ආගමික විද්වතෙකු වූ රිස්වි මුෆ්ති තුමාණන් ව ‘පරයා’ යන වදනින් ආමන්ත්‍රණය කිරීම උන්වහන්සේගේ සදාචාරාත්මක භාවයේ ප්‍රමාණය හුවා දක්වන්නක් ලෙස අපි දකින්නෙමු. මෙය ‘දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යයේ’ අඩංගු අනිවාර්යයෙන් රැකිය යුතු ‘සම්මා වාචා” – නිවැරදි වචන භාවිතය කඩ කිරීමක් නොවන්නේ ද? කරුණාකර මොහොතක් සිතා බලන්න. බොදු බල සේනා සංවිධානය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය දිලන්ත විතානගේ මහතා මාධ්‍යය සාකච්ඡා පවත්වන අවස්ථාවන් හි මෙසේ හත්පොලේ ගාගන්නේ නැතිව ඉතා සමබර හා බුද්ධිමත් අයුරින් කටයුතු කිරීම අපි දැක ඇත්තෙමු.

බෞද්ධ ඉගැන්වීම් අනුව මුසාවාදයේ විපාක පිළිබඳව සිහිපත් කර දෙන්නට අපේක්ෂා කරන්නෙමු.

“අන්‍යයන් මුලාවට පත් කරන වාචික අකුසල කර්මය මුසාවාදයයි. යම් පුද්ගලයෙක් මුසාවාදය පුරුදු පුහුණු කරන ලද්දේද හෙතෙම මරණින් මතු නිරයෙහි උපදී, තිරිසන් යෝනියෙහි උපදී, ප්‍රේත ලෝකයෙහි උපදී, එයින් චුතව මනුෂ්‍ය ලෝකයෙහි උපන් කළ අන්‍යයන්ගේ නින්දා අපහාස ආදියට ලක්වේ. එසේම දුගඳ මුඛයක් ඇත්තෙක් වෙයි. අඥානයෙක් වෙයි, ගොළුවෙක් වෙයි. අප්‍රිය සිරුරක් ඇත්තෙක් වෙයි” (මුලාශ්‍රය: විභංග පාලිය)

මෙසේ පවසමින් ප්‍රධාන මාතෘකාවට ප්‍රවේශ වෙමු. උන්වහන්සේ විසින් බොහෝ මාධ්‍යය සාකච්ඡාවලදී ෆයිල් එකක් විවෘත කොට පහත සඳහන් චෝදනාව ඉදිරිපත් කරමින් මුස්ලිම් නොවන ජනයාගේ සිත්සතන් තුල මුස්ලිම්වරු පිළිබඳ බියක් හා පිළිකුලක් ඇතිකිරීම අරමුණු කොටගෙන කරුණු දක්වනවා අපි දැක ඇත්තෙමු.

“මොහොමද් දේශනා කළා ‘සියලුම මිනිසුන් ලා ඉලාහා ඉල්ලල්ලාහ්’ (එනම් අල්ලාහ් හැර වෙනත් කිසිම දෙවියෙකු නැත. අල්ලාහ් හැර වෙනත් කිසිම දෙවියෙකුට හෝ ආගමකට වන්දනාමාන ලැබීමට අයිතියක් නැත) යන වැකිය කියා දිවුරනතුරු (එනම් ඉස්ලාමය වැළඳගන්නා තුරු) ඔවුන්ට විරුද්ධ ව කල කෝලාහල / සටන් කළ යුතු බවට (අල්ලාහ් විසින්) නියෝග කොට ඇත. එසේ දිව්රන (එනම්, ඉස්ලාමය වැළඳ ගන්නා තුරු) කවරෙකුගේ හෝ පමණක් ජීවිතය සහ ඔහුගේ දෙපොල ආරක්ෂා වනු ඇත.”

විග්‍රහය: සුපුරුදු පරිදි ඉහත හදීස් වැකියේ නිවැරදි පරිවර්තනය වෙත යොමු වෙමු. ඉහතින් දක්වා ඇත්තේ එම නබි භාෂිතයේ වැරදි පරිවර්තනයක් සමග කොටසකි. එහි සම්පුර්ණ කොටස පහත සඳහන් අයුරිනි.

“අල්ලාහ් හැර නැමදුමට සුදුසු අන් කිසිවෙකු නොමැත, මුහම්මද් අල්ලාහ්ගේ ගැත්තා හා ධර්ම දුතයා යන්න ප්‍රකාශ කරන තුරු හා ‘සලාතය’ ස්ථාපිත කොට ‘සකාතය (අනිවාර්ය දන්දීම)’ දෙන තුරු ජනයා සමග සටන් කිරීමට (අල්ලාහ් විසින්) මට නියෝග කොට ඇත. ඔවුන් එසේ කරන්නේ නම් ඉස්ලාමිය අයිතීන්ට අනුව හැර ඔවුන්ගේ වස්තු හා ජීවිත මගෙන් ආරක්ෂා සහිතය. ඔවුන්ගේ ක්‍රියා පිළිබඳ විමසුම අල්ලාහ් සතුය”. (සහීහ් බුහාරි – 4 වන වෙළුම, හදීස් අංක 196)

ලෝකවාසී බිලියන දෙකක් පමණවූ මුස්ලිම් ජනයා මෙම නබි වදන තේරුම්ගෙන ඇති ආකාරයත් ලෝකයේ සියගණනකට පමණ සීමාවී ඇති අන්තවාදී අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් එය තේරුම්ගෙන ඇති ආකාරය අතරත් ඇත්තේ අහසට පොළොව තරම් වූ වෙනසකි. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ හා ඥානසාර හාමුදුරුවන් ඉදිරිපත් කරන අදහස් දැක්වීම අතර ඇත්තේ සමානතාවකි. උන්වහන්සේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් ගේ මතවාදයට සමානතාවකින් කටයුතු කිරීම සැබැවින්ම නොකළ යුත්තක් ලෙස අපි දකින්නෙමු.

මෙම හදීස් වැකිය (නබි භාෂිතය) වැරදි පරිවර්තනයක් සමගින් ඉදිරිපත් කරමින් චෝදානා කොට තිබුනේ ‘සියලුම මිනිසුන් ලා ඉලාහා ඉල්ලල්ලාහ්’ (එනම් අල්ලාහ් හැර වෙනත් කිසිම දෙවියෙකු නැත. අල්ලාහ් හැර වෙනත් කිසිම දෙවියෙකුට හෝ ආගමකට වන්දනාමාන ලැබීමට අයිතියක් නැත) යන වැකිය කියා දිවුරනතුරු (එනම් ඉස්ලාමය වැළඳගන්නා තුරු) ඔවුන්ට විරුද්ධ ව කල කෝලාහල / සටන් කළ යුතු බවට (අල්ලාහ් විසින්) නියෝග කොට ඇත’ යන අදහසයි. මෙයින් චෝදනා නගන්නන් අදහස් කොට ඇත්තේ ඉස්ලාමීය ඉගැන්වීම් අනුව අන් කිසිදු දහමක පැවැත්ම ඉස්ලාමය අනුමත නොකරන බවත් ඉස්ලාමය පිළිගන්නා තෙක් ඔවුන්ට එරෙහිව බලය යෙදීමෙන් එනම් ඔවුන්ට එරෙහිව සටන් කිරීමට ඉස්ලාමය අනුමැතිය දී ඇති බවත් ය. මෙහි සැබෑ අර්ථය කුමක්ද යන්න විමසා බලමු. මෙයට අමතරව චෝදනා නගන්නන් මෙම නබි වදන හඳුන්වා දී තිබුනේ නබි තුමාගේ මෙහෙවර ප්‍රකාශය ලෙසටයි.

මෙමගින් ඉස්ලාමය ව්‍යාප්ත කරනු ලැබුවේ හා කරනු ලබන්නේ බලය යෙදීමෙන් යන මතයක් ඉදිරිපත් කිරීමට වෙහෙස දරා ඇති බව දක්නට ඇත. එහෙයින් මෙම ලිපිය මගින් කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන්නෙමු.

  1. ඉස්ලාමීය ඉගැන්වීම් අනුව ආගමික නිදහස හා ආගමික බහුත්වය සහතික කොට ඇති ආකාරය.
  2. මෙම නබි භාෂිතයේ (හදීසයේ) ඓතිහාසික සන්දර්භය විග්‍රහ කිරීම
  3. මෙම හදීසය පිළිබඳ පිළිගත් විද්වතුන්ගේ විග්‍රහයන්
  4. සාමයික සහජීවනය පිළිබඳ අලංකාර පුර්වාදර්ශයන්

ඉස්ලාමීය ඉගැන්වීම් අනුව ආගමික නිදහස හා ආගමික බහුත්වය

අල් කුර්ආනය සමග නබි වදන් පරස්පර නොවිය යුතුය යන්න සම්මතයකි. සියළු ජනයා ඉස්ලාමය පිළිගන්නා තුරු ඔවුන් සමග සටන් කළ යුතු යන මතය පහත සඳහන් අල් කුර්ආන් වැකි සමග ඉතා පැහැදිලි පරස්පරතාවක් දක්වයි.

“දහම සම්බන්ධ ව බල කිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලි ව ඇත.” (අල් කුර්ආන් 2:256)

ඉහත චෝදනාව අර්ථශුන්‍ය එකක් බවට පත්වන්නට ඉහත වැකිය පමණක් ප්‍රමාණවත් යැයි සිතන්නෙමු.

“ප්‍රඥාවෙන් යුතුව ද යහපත් උපදෙස් මඟින් ද නුඹගේ පරමාධිපතිගේ මාර්ගය වෙත ඇරයුම් කරවූ.” (අල් කුර්ආන් 16:125)

ඉස්ලාමය වෙත ආරාධනා කිරීමේ පිළිවෙත මෙම අල් කුර්ආන් වැකිය අපට ඉතා අලංකාර අයුරින් පෙන්වා දෙයි. එය සටන් කිරීමෙන් හා බලය යෙදීමෙන් සිදුකරන්නා වූ කාර්යයක් නොවන බව මෙයින් ඉතා හොඳින් පැහැදිලි වෙයි.

“නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිහිතලය මත සිටිනා සියල්ලන්ම විශ්වාසවන්තයින් වන්නට ඉඩ තිබිණ. එබැවින් මිනිසුන් (සියල්ල) විශ්වාසවන්තයින් වන ලෙස නුඹ (මුහම්මද් නබිවරය,) ඔවුන්ට බල කරන්නෙහි ද?” (අල් කුර්ආන් 10:99)

ඉහත වැකිය බලකිරීම නුසුදුසු ක්‍රියාවක් බව දෙවිඳුන් ඉතා පැහැදිලි අයුරින් දන්වා සිටී.

“සත්‍යය නුඹගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරය නුඹ) පවසවු. එහෙයින් කැමති අයෙකු විශ්වාස කරත්වා! කැමැති අයෙකු ප‍්‍රතික්ෂේප කරත්වා!” (අල් කුර්ආන් 18:29)

මෙම අල් කුර්ආන් වැකිය මගින් ආගමික හා හෘදසාක්ෂියේ නිදහස සහතික කොට ඇත

“ඔවුන් පවසන දෑ පිළිබඳ ව අපි මැනවින් දනිමු. නුඹ (නබිවරය) ඔවුන් කෙරෙහි බලපරාක්‍රමය යොදවන්නෙකු නොවේ. එබැවින් මාගේ අනතුරු ඇඟවීමට බියවන්නා වෙත අල් කුර්ආනය මගින් අනුශාසනා කරවූ.” (අල්-කුර්ආන් 50 : 45)

මෙම අල් කුර්ආන් වැකිය අනුව දහම පිළිබඳ ව බලය යෙදීම අනුමත නොමැති බව ඉතා පැහැදිලි අයුරින් ම සඳහන් කොට ඇත. පහත සඳහන් අල් කුර්ආන් වැකි ද තවදුරටත් ආගමික නිදහස සහතික කරන්නක් වන අතර සමාජ සාමය සහතික කරමින් කටයුතු කිරීමට උපදෙස් ලබා දෙයි.

“එබැවින් (නබිවරය) නුඹ උපදෙස් දෙවු. සැබැවින්ම නුඹ උපදෙස් දෙන්නෙකුමය. ඔවුන් පිළිබඳව නුඹ වගකීම් දරන්නෙකු නොවේ.” (අල්-කුර්ආන් 88 : 21-22) 

“(නබිවරය) ඔවුහු නුඹව අසත්‍ය කළේ නම් ‘මාගේ ක්‍රියාවන්(හි ඵලවිපාක) මටය, නුඹලාගේ ක්‍රියාවන්(හි ඵලවිපාක) නුඹලාට ය. මා කරන දැයින් නුඹලා නිදොස් වුවන්හුය. නුඹලා කරන දැයින් මම නිදොස් වෙමි’ යැයි පවසවූ”. (අල්-කුර්ආන් 10 : 41) 

“(දේව පණිවිඩය) දන්වා සිටීමේ වගකීම හැර අන් දෙයක් රසුල්වරයාට නොවීය. තවද අල්ලාහ් නුඹලා හෙළිකරන දෑ ද නුඹලා වසන් කරන දෑ ද දන්නේය”. (අල්-කුර්ආන් 5 : 99) 

“(විශ්වාසවන්තයිනි), අල්ලාහ් හැර කුමන දැයක් ඔවුන් අයදින්නේද එයට නුඹලා අපහාස නොකරවූ.” (අල් කුර්ආන් 6:108)

“දහම හේතුවෙන් නුඹලා සමග සටන් නොකළවුන් හට ද නුඹලාව නුඹලාගේ නිවෙස් වලින් පලවා නොහරියවුන් හට ද යහපත කිරීම හා යුක්ති ගරුක ව කටයුතු කිරීම (පිළිබඳව) අල්ලාහ් නුඹලා ව වළක්වන්නේ නැත. සැබැවින්ම අල්ලාහ් යුක්ති ගරුක ව කටයුතු කරන්නන් ව ප්‍රිය කරන්නේය.” (අල් කුර්ආනය 60:8) 

“යහපත හා අයහපත සම නොවන්නේය. (එබැවින්) යහපත් දැයින් අයහපත් දෑ වළක්වවූ. එවිට නුඹ හා කවරෙකු අතර සතුරුකම් තිබුණේද සැබැවින්ම ඔහු සමීපතම මිතුරෙකු මෙන් වන්නේය.” (අල් කුර්ආනය 41:33)

එසේ නම් ඉහත නබි වදනින් අදහස් කරන්නේ කුමක් ද? මෙයට අදාල තවත් වැදගත් කරුණු කිහිපයක් පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.

මෙම ප්‍රකාශනය වැරදි ලෙස අවබෝධ කරගත් මුස්ලිම් වරුන්ගේ ක්‍රියාකාරකම් සහමුලින්ම ඉස්ලාමීය සාරධර්මයන්ට මෙන්ම මුලික ඉගැන්වීම් වලට පටහැනි වූවකි. මෙම වැරදි ක්‍රියා නිරීක්ෂණය කරන මුස්ලිම් නොවන්නන්ගේ ඉස්ලාම් විරෝධී ප්‍රචාරයන් ද එලෙසම වැරදි එකකි. 

මෙම නබි භාෂිතය අරාබි බසින් වූවක් වන අතර එහි නිවැරදි අර්ථය අවබෝධ කරගැනීමට නම් අරාබි භාෂාව පිළිබඳ මනා දැනුමක් අත්‍යාවශ්‍ය වෙයි. අරාබි භාෂාවේ එක් වැදගත් රීතියක් වන්නේ ‘පොදු ප්‍රකාශනයකින් නිශ්චිත දෙයක් පිළිබඳව පැවසීමය’. මෙවන් අරාබි වදන් කියවන්නෙකුගේ මනසේ එක්තරා ආකාරයක ව්‍යාකුලත්වයක් ඇතිවිය හැක. එහෙයින් අරාබි භාෂා යෙදුම් පිළිබඳ විශේෂඥයෙකුගේ මගපෙන්වීමකින් තොරව මේවායේ නිවැරදි අර්ථය අවබෝධ කරගැනීම බොහෝ විට දුෂ්කර විය හැක. 

ඉහත නබි භාෂිතයේ ‘ජනයා’ යන්න පොදු ප්‍රකාශනයක් වූවද එය නිශ්චිත පිරිසක් පිළිබඳව වූ සටහනක් බව අරාබි භාෂාව පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති විද්වතුන්ගේ විග්‍රහ අනුව අවබෝධ කරගත හැකි වනු ඇත. මෙ පිළිබඳව ඉතා ප්‍රායෝගික උදාහරණයක් ඔබගේ අවධානය පිණිස ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු. මෙරට තුල එල්. ටී. ටී. ඊ. ක්‍රියාකාරකම් පැවති 2005 වර්ෂයේදී ආරක්ෂක අංශය විසින් උතුරට පහර දෙන ලෙස නියෝගයක් නිකුත් කිරීම සාමානය සිද්ධියකි. නමුත් මෙයින් අදහස් වන්නේ උතුරේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකයින්ට එරෙහිව හමුදා මෙහෙයුමක් දියත් කරන ලෙසය. එයින් ඔබ්බටත් සිදුවීම් දෙස අවධානය යොමු කළ විට පුනරුත්ථාපනය වූ එල්. ටී. ටී. ඊ. සාමාජිකයින් හා සාමාන්‍ය ද්‍රවිඩ ජනයා කෙරෙහි එම නියෝගය කිසිසේත්ම වලංගු නොවන බව අප සැවොම දන්නා කරුණකි. මෙ අනුව එක් නිශ්චිත අවස්ථාවක නිශ්චිත හේතු පදනම් කොට ගෙන නිකුත් කරන ලද නියෝග සැමදා සැමවිට සැමට බල නොපාන බව පැහැදිලි කරුණකි. ඉහත නියෝගය පදනම් කරගෙන වර්ෂ සියයකට පසු උතුරේ සියලු ජනයා ඝාතනය කිරීමට ආරක්ෂක අංශය විසින් නියෝගයක් නිකුත් කළ බව යමෙක් පවසන්නේ නම් එහි ඇති අර්ථ විකෘති භාවය අවබෝධ කර ගැනීම ඕනෑම අයෙකුට කළ හැකි දෙයකි. මෙසේ තිබියදී වර්ෂ 1400 කට පෙර නිශ්චිත හේතු මත පැවසු ප්‍රකාශයක් ඓතිහාසික සන්දර්භයෙන් බැහැරව කෙසේ නම් වර්තමානයට අදාළ දෙයක් ලෙස හුවා දක්වන්නට කටයුතු කළ හැක්කේ ද කියා අසන්නට කැමැත්තෙමු. 

ඉස්ලාමය බලෙන් ව්‍යාප්ත කිරීමේ අනුමැතියක් නොමැති බව මෙයට පෙර උපුටා දැක්වූ අල් කුර්ආන් වැකි මගින් ඉතා හොඳින් පැහැදිලි වෙයි. මේ පිළිබඳ තවත් කරුණු කිහිපයක් පහතින් දක්වා ඇත්තෙමු.

ඉස්ලාමය කඩුවෙන් ව්‍යාප්ත කරන ලද්දක් බවට මතු කරන අර්ථ විරහිත චෝදනාවට ලොව ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකුවූ ඩි ලාසි ඔලියරි (De Lacy O’Leary) තමන්ගේ “Islam at the cross road” නම් ග්‍රන්ථයේ 8 වැනි පිටුවේ පහත සඳහන් අයුරින් අදහස් දක්වයි. 

“කෙසේ නමුත් ඉතිහාසය පැහැදිලි කරන අන්දමට භක්තියෙන් මුසපත් වූ මුස්ලිම්වරුන් තම යටත් වැසියන් වෙත අසිපත දිගු කරමින් ඉස්ලාමය වැළඳ ගන්නා ලෙස බලපෑම් කිරීම තරම් අභූත මිත්‍යාවක් ඉතිහාසඥන් විසින් පුනරුච්චාරණය කර නොමැත”

මුස්ලිම්වරුන් ස්පාඤ්ඤය අවුරුදු 800ක් පාලනය කළහ. ඉස්ලාමිකයින් නොවූ ස්පාඤ්ඤ වැසියන් ව අසිපතින් බලපෑම් කොට ඉස්ලාමය වැළඳ ගන්නා ලෙස දක්වන කිසිදු වාර්තාවක් නොමැත. පසුව කිතුනු කුරුස ක්‍රියාකාරකයින් විසින් මුස්ලිම් පාලනය අවසන් කරන ලදී. 

මුස්ලිම්වරුන් වර්ෂ 1400ක් පමණ මුළුමහත් අරාබි දේශය ම පාලනය කළහ. කෙටි කාලයක් බ්‍රිතාන්‍ය හා ප්‍රංශ බලය මෙම ප්‍රදේශයේ පැවතිනි. නමුත් අදත් අරාබිවරුන් අතරේ පාරම්පරික කොප්ටික් කිතුනුවන් මිලියන 14කට අධික පිරිසක් ජීවත් වෙති. මුස්ලිම්වරුන් අසිපත යොදා ගනිමින් දහම ප්‍රචාරය කරන්නට කටයුතු කළේ නම් එකම කිතුණුවෙක් හෝ අරාබිවරුන් අතරේ නොසිටිනු ඇත.

අවුරුදු 1000ක් පමණ මුස්ලිම්වරුන් ඉන්දියාව පාලනය කළහ. නමුත් අදත් ඉන්දියාවේ මුළු ජනගහනයෙන් 80% පමණ ඉන්නේ මුස්ලිම් නොවන්නන් බව අප සැවොම දන්නා කරුණකි. මෙම සියළු මුස්ලිම් නොවන්නන් සිටීම තුළින් අප වෙත දන්වා සිටින පණිවිඩය නම් ඉස්ලාමීය ප්‍රචාරය අසිපත හෝ වෙනත් ආකාරයක බලකිරීමක් මත සිදු නොවූ බවයි.

වර්තමානයේ වැඩිම මුස්ලිම් ජනගහනයක් ඇති රට ඉන්දුනීසියාවයි. මැලේසියාවේ බහුතරය මුස්ලිම් වරුන් ය. මෙහිදී මතු කළ යුතු ප්‍රශ්නය වන්නේ කුමන මුස්ලිම් හමුදාවද ඉන්දුනීසියාව හා මැලේසියාව වෙත පැමිණියේ යන්නයි. 

මුහම්මද් තුමාණන්ගේ මෙම ප්‍රකාශනය පිළිබඳව විමසීමක් කිරීමේ දී ‘උකාතිල්’ හා ‘අක්තුල’ යන අරාබි පදයන්හි නිවැරදි අර්ථය අප විසින් පළමුව අවබෝධ කර ගැනීම අත්‍යාවශ්‍ය වෙයි. ‘උකාතිල්’ යන්නෙහි අර්ථය ‘සටන් කිරීමට’ යන්න වන අතර ‘අක්තුල’ යන්නෙහි අර්ථය ‘ඝාතනය කිරීමට’ යන්නය. මෙම ප්‍රකාශනයේ යොදා ඇත්තේ ‘යුකාතිල්’ නම් පදය වන අතර එයින් අදහස් වන්නේ ඉස්ලාමය තුළින් ඉදිරිපත් කොට ඇති දිව්‍යමය සත්‍යය කඩකරමින් ඉස්ලාමීය රාජ්‍යයේ පිළිවෙතට අනුගත නොවී වංචනික ලෙස හා කුහක ලෙස කටයුතු කරන නිශ්චිත පිරිසකට එරෙහිව කරන්නා වූ සටනක් බව ඉතාම පැහැදිලිය. මෙම නබි භාෂිතය සියළු ජනයාට එරෙහිව සටන් කිරීමක් පිළිබඳ වුවක් නොවන බව මෙයින් පැහැදිලි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු.

“(විශ්වාසවන්තයිනි,) නීතිය අකුරටම පිළිපැදීමෙ හි අල්ලාහ් වෙනුවෙන් ඔබ සාක්ෂි දරවු. මිනිසුන්ගෙන් එක් කොටසක් කෙරෙහි (ඔබ තුළ ඇති) ද්වේෂය (ඔවුන්ට) අපරාධයක් කිරීමට ඔබ ව පොලඹවා නොගනිවු. (කොපමණ ක්‍රෝධයන් තිබුණ ද) ඔබ නීතියම ක‍්‍රියාත්මක කරවු. එය බිය බැතිමත්භාවයට ඉතා සමීප වන්නේය. (කුමන අවස්ථාවක දී වුවද) ඔබ අල්ලාහ්ටම බිය වවු. සැබැවින්ම අල්ලාහ් ඔබ කරන දෑ හොඳින් දන්නේය.” (අල් කුර්ආන් 5:8)

මෙම නබි වදනේ ඓතිහාසික සන්දර්භය

ඇතැම් ආරම්භක හා වර්තමාන විද්වතුන්ගේ මතය අනුව මෙම නබි වදන ප්‍රකාශ කොට ඇත්තේ මුහම්මද් තුමාණන්ගේ කාලයේ බහුදේව වාදී අරාබිවරුන් සම්බන්ධ ව පැනනැගුනු එකඟවූ ගිවිසුම් කඩකිරීමෙන් පසු ඇතිවූ සාමය කඩකිරීමේ ක්‍රියාවන් සම්බන්ධයෙනි. අල් කුර්ආනයේ නවවන පරිච්චේදය මගින් විග්‍රහ වන්නේත් මෙම ඓතිහාසික සිදුවීමයි.

ඒක දේවත්වය වෙත හා සාරධර්ම සපිරි සමාජ ප්‍රතිසංස්කරණය උදෙසා මුහම්මද් තුමාණන් කළ ඇරයුම මක්කා වාසී කුරෛෂ් ගෝත්‍රිකයින්ගේ දැඩි විරෝධයට ලක් වූ අතර එතුමාගේ දේශනයන් පිළි ගත් දුබල, දිළිඳු බහුතරයකට අනේක විධ වද හිංසාවන්ට මුහුණ පෑමට එම කාලවකවානුවේ දී සිදු විය.

මෙම තත්ත්වය තුළ වසර දහතුනක් වැනි දීර්ඝ කාලයක් මක්කා වැසියන්ගේ දැඩි තාඩන පීඩනයන්ට මුහුණ දෙමින් කටයුතු කිරීමෙන් අනතුරුව එතුමාට හා මුස්ලිම් වරුන්ට මක්කාව අතහැර මදීනා නගරයට දේශාන්තරණය කිරීමට පසුබිම සකස් වී තිබුණි. මදීනා නගරයට දෙශාන්තරණය කිරීමෙන් පසුවත් මුස්ලිම්වරුන්ට එරෙහිව හමුදා මෙහෙයුම් කිහිපයක් දියත් කළහ. ‘බද්ර්’, ‘උහුද්’ හා ‘හන්දක්’ නමින් හැඳින්වෙන හමුදා ප්‍රහාරයන් මෙයින් කිහිපයකි. මුහම්මද් තුමාණන් හා පිරිස මදීනා නගරයට දෙශාන්තරණය කිරීමෙන් පසු හයවන වසරේ දී මක්කා නගරයට පැමිණ ‘උම්රා’(මක්කා වේ මස්ජිදුල් හරාම් පල්ලිය ආශ්‍රිතව සිදු කරන ඉස්ලාමයේ එක් නැමදුමක්) වතාවත් ඉටු කිරීමට කටයුතු කළ අවස්ථාවේ දී හුදෛබියා නම් වූ ස්ථානයේ දී ඔවුන්ව වලක්වාලීමට මක්කාවේ ඉස්ලාම් විරෝධීන් විසින් කටයුතු කරන ලදී. මෙතැන දී ඇති වූ අති පීඩාකාරී තත්ත්වය මත මුස්ලිම්වරුන්ට ඉතා අවාසි සහගත බව පෙනෙන්නට තිබු සටන් විරාම ගිවිසුමක් අත්සන් කරන ලදී. එම ගිවිසුමද එයට වර්ෂ එකහමාරක දී මක්කා වාසීන් විසින් බිඳ දමන ලදී.

ඉහත සඳහන් ගිවිසුම අනුව මක්කාවාසී කුරෛෂ් ගෝත්‍රිකයින් හා මුස්ලිම්වරුන් අතර සටන් විරාමයක් සඳහා එකඟතාවකට එළඹෙන ලදී. මේ අනුව කුරෛෂ් ගෝත්‍රිකයින් හා ඔවුන්ට සහය දක්වා ගිවිසුම් ගත වී සිටි ඔවුන්ගේ පාක්ෂික ගෝත්‍රිකයින් සමග ද මුස්ලිම්වරුන් සටන් විරාම ගිවිසුමේ කොන්දේසි රැකිය යුතු විය. අනිත් අතින් මුස්ලිම්වරුන් සමග සාම ගිවිසුම් අත්සන් කොට තිබු මුස්ලිම් නොවන ගෝත්‍රිකයින් ද කුරෛෂ් වරුන් හා ඔවුන්ගේ පාක්ෂික ගෝත්‍ර සමග මෙම සටන් විරාම ගිවිසුමේ කොන්දේසි රැකිය යුතු විය. වැඩිකල් නොගොස් කුරෛෂ් පාක්ෂික බනු බක්ර් ගෝත්‍රිකයින් විසින් මුස්ලිම් වරුන් සමග ගිවිසුම් ගතව සිටි මුස්ලිම් නොවන බනු කුසා ගෝත්‍රිකයින්ට පහර දී එම ගෝත්‍රයේ බොහෝ දෙනෙකුව ඝාතනය කරන ලදී. සටනට පිවිසි මෙම දෙපාර්ශවය මැද සිටි කුරෛෂ් වරුන් විසින් ප්‍රහාරය ආරම්භ කළ ඔවුන්ගේ බනු බක්ර් පාක්ෂිකයින් ව පාලනය කොට මෙම ගැටුම සමථයකට පත් කරනු ඇතැයි මුස්ලිම්වරුන් විසින් අපේක්ෂා කරන ලදී. නමුත් ඓතිහාසික සාක්ෂි අනුව කුරෛෂ් ගෝත්‍රිකයින් විසින් මුස්ලිම්වරුන් සමග එකඟ වූ ගිවිසුම උල්ලංඝනය කරමින් තම පාක්ෂික බනු බක්ර් ගෝත්‍රිකයින්ට අවි හා තම සාමාජකයින්ගේ සහාය හා සහභාගිත්වය ද ලබා දෙමින් මුස්ලිම් වරුන් සමග ගිවිසුම් ගත ව සිටි බනු කුසා ගෝත්‍රිකයින් ව ඝාතනය කිරීමට කටයුතු කරන ලදී. මේ අනුව කුරෛෂ්වරුන් විසින් මුස්ලිම්වරුන් සමග එකඟ වූ ගිවිසුම කඩකිරීමේ පළමු පියවර කුරෛෂ් වරුන් විසින් සිදු කරනු ලැබීය.

මෙම ගැටුම සම්පුර්ණයෙන් ම මුස්ලිම් නොවන ගෝත්‍රිකයින් අතර හටගත් එකකි. මුස්ලිම් වරුන්ගේ අපේක්ෂාව මුස්ලිම් නොවන්නන් ඝාතනය කිරීමක් නම් මෙම තත්ත්වය පිළිබඳ ව මුස්ලිම්වරුන්ට කරන්නට තිබු වඩාත් උචිත පියවර වූයේ නිහඬ නිරීක්ෂකයින් බවට පත්වීම පමණි. නමුත් එකඟ වූ ගිවිසුම් ආරක්ෂා කිරීම ඉස්ලාමීය ආචාර ධර්ම අතර ප්‍රධාන තැනක් ගැනෙන්නක් හෙයින් ඔවුන් සමග ගිවිසුම් ගතව සිටි මුස්ලිම් නොවන බනු කුසා ගෝත්‍රිකයින්ගේ සහායට ඒම මුස්ලිම්වරුන්ගේ වගකීමක් විය. මුස්ලිම් භීතිකා ව්‍යාපාරිකයින්ගේ මුසාවාද ප්‍රචාරය හිරු දුටු පිනිබිඳක් ලෙසින් වාෂ්ප කොට හැරීමට මෙම ඓතිහාසික සත්‍යය පමණක් ප්‍රමාණවත් ය. එසේ පවසමින් වඩාත් සවිස්තරාත්මක විග්‍රහයක් පහතින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නෙමු.

මෙහි සඳහන් ඉස්ලාම් විරෝධීන්ගේ ක්‍රියාකලාපයන් කෙලෙසකවත් මක්කාහ් නගරයේ ආරක්ෂාව සඳහා යෝග්‍යය නොවන බව ඉහත සඳහන් කරුණු වලින් මනාව පැහැදිලි වෙයි. ගිවිසුම් කඩ කරමින් නිතර ප්‍රහාරයන් එල්ල කරමින් විශ්වාස ද්‍රෝහී ලෙස කටයුතු කිරීම හේතුවෙන් ඔවුන් සමග සහවාසය ඉතා අවදානම් ක්‍රියාවක් බව පැහැදිලිව පෙනෙන්නට තිබු හෙයින් ඔවුන්ට මක්කාහ් නගරයෙන් ඉවත්වීමට මාස හතරක් කල් දෙනු ලැබීය. මෙම කල් දීම පිළිබඳව සඳහන් අල් කුර්ආන් වැකි මක්කාවේ ජනයාට පාරායනය කර පෙන්වීමට මුහම්මද්තුමාණන් විසින් මදීනා නගරයේ සිට මක්කා නගරයට නියෝජිතයින් දෙදෙනෙකු එවන ලදී. මෙම කාලය තුළ ඔවුන් ඉවත් වුවහොත් ඔවුන් සමග ගැටුමක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවක් කිසිසේත් ම උදා නොවන බව මෙයින් අවධාරණය කොට තිබුණි. නමුත් එසේ ඉවත් නොවී මක්කාවේ රැඳෙන්නන් පිළිබඳවයි මෙහි සඳහන් වන්නේ. රටේ නීතිය උල්ලංඝනය කරමින් හා බරපතල භීෂණයක් මුදාහරිමින් කටයුතු කිරීම මෙම පිටුවහල් කිරීමට ප්‍රධාන හේතුවයි. ඔවුන් වෙත විකල්ප තුනක් ඉදිරිපත් කොට තිබුණි. මේ වනවිට මක්කා නගරය ඉස්ලාමීය රාජ්‍යයේ පාලනයට යටත් ප්‍රදේශයක් බවට පත්ව තිබුණි.

  1. අවි බිම තබා සියළු විරුද්ධවාදිකම් හා නීති උල්ලංඝනය කිරීම් අත් හිටුවා ඉස්ලාමීය රාජ්‍යය පාලනය යටතේ තම පිළිවෙත් අනුගමනය කරමින් සාමකාමී අයුරින් ජීවත් වීම
  2. ඉස්ලාමය වැළඳ ගැනීම
  3. මේ කිසිවක් පිළිපදින්නට අකැමැති නම් ඉස්ලාමීය රාජ්‍යය ප්‍රදේශයෙන් පිටවී යෑම. මේ සඳහා ද අල් කුර්ආන් 9:2 අනුව ඔවුන්ට මාස හතරක කාල පරාසයක් ලබා දී තිබුණි.

මක්කා නගරය ඉස්ලාමීය පාලනයට යටත් වූ අවස්ථාවේ නබි තුමාණන් විසින් උපදෙස් දී තිබුනේ සටනට පිවිසි පිරිස සමග පමණක් සටන් කරන ලෙසය. ඉහත ඇතිවූ කළහකාරී තත්ත්වය දිගින් දිගට පවත්වා ගෙන යමින් මක්කා නගරයේ රැඳී සිටි මුස්ලිම් විරෝධීන් පිළිබඳවයි මෙම හදීස් ප්‍රකාශය අදාළ වන්නේ.

“කවරෙකු නුඹලා සමග යුද වදින්නේ ද ඔවුන් සමග අල්ලාහ්ගේ මාර්ගයෙහි නුඹලා යුද වදිවු. නමුත් නුඹලා සීමාව ඉක්මවා නොයවූ. සැබැවින්ම අල්ලාහ් සීමාව ඉක්මවා යන්නන්ව ප්‍රිය නොකරයි”. (අල් කුර්ආන් 2:190) 

මෙම හදීසය පිළිබඳ විද්වතුන්ගේ මතයන්

මෙම හදීසය පිළිබඳ ඉස්ලාමීය විද්වතුන්ගේ මතයන් පිළිබඳ අවධානය යොමු කරමු.

13 වන සියවසේ ජීවත් වූ ලෝක ප්‍රසිද්ධ ඉස්ලාමීය විද්වතෙක් වූ තකි අල් දීන් ඉබ්න් තෛමිය්යා විද්වතාණන් පවසා සිටින්නේ මෙම නබි භාෂිතයේ සඳහන් වන්නේ ආරම්භක මුස්ලිම් වරුන්ට එරෙහිව සටන් කළ පිරිස සම්බන්ධයෙන් බවය.

“මෙම හදීසයේ සඳහන් වන්නේ මුස්ලිම්වරුන්ට එරෙහිව සටන් කළ පිරිස සමග සටන් කිරීමටය. මෙය මහා කාරුණික අල්ලාහ් විසින් අනුමත කරන ලද්දකි. මුස්ලිම්වරුන් සමග ගිවිසුම් ගතව සිටි පිරිස මෙයින් අදහස් නොවේ. මහා කාරුණික අල්ලාහ් විසින් එළඹී ගිවිසුම්වල කොන්දේසි කඩ නොකොට කටයුතු කරන ලෙස දන්වා ඇත. ((Majmu al-Fatawa by Shaykh al-Islam Ibn Taymiyyah, volume 19, page 20)

13 වන සියවසේ ජීවත් වූ තවත් සම්භාවනීය ඉස්ලාමීය විද්වතෙක් වූ ඉබ්න් රජබ් අල් හන්බලි විද්වතාණන් මෙම හදීසය පිළිබඳ ව අදහස් දක්වමින් එතුමාණන්ගේ කාලයේත් ඉතා සුළු පිරිසක්, වර්තමානයේ ඉස්ලාම් විරෝධීන් චෝදනා නගන ආකාරයෙන්ම, මෙම හදීසය පිළිබඳ අදහස් දක්වා ඇති නමුත් මෙම මතය ප්‍රතික්ෂේප කරමින් ඉබ්න් රජබ් විද්වතාණන් සඳහන් කොට ඇත්තේ ‘ප්‍රතික්ෂේප කළ පිරිස හා මුහම්මද් තුමාණන් අතර පැවති සටන් සැබැවින්ම මෙම මතයට සම්පුර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ අරමුණක් පදනම් කරගත් ඒවා බවය’.

“ඇතැම් පිරිස් සිතුවේ මෙම හදීසය මගින් විශ්වාස නොකළ පිරිස් සමග ඔවුන් ඉස්ලාමය විශ්වාස කොට සලාතය ස්ථාපිත කරන තුරු සටන් කළ යුතු බවය. සැබැවින්ම ප්‍රයෝගිකව සිදුවූ දෑ පදනම් කර ගනිමින් ඉතා පැහැදිලි අයුරින් දකින්නට ඇත්තේ විශ්වාස නොකළ පිරිස් සමග ඇතිවූ සටන් මෙම මතයට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ අරමුණක් මත පදනම් වී තිබුණු බවය.” (Jami Uloom wal-Hikam, by Ibn Rajab al-Hanbali, volume 1, page 241) 

මෙම හදීසය පිළිබඳ නුතන විද්වතෙකුගේ විග්‍රහයකට අවධානය යොමු කරමු. සහිහ් මුස්ලිම් හදීස් ග්‍රන්ථය පිළිබඳ විග්‍රහයක් ඉදිරිපත් කරන අබ්දුල් හමීද් සිද්දිඛි පහත සඳහන් අයුරින් කරුණු ඉදිරිපත් කරයි.

“මෙම හදීසය ඉස්ලාම් විරෝධී විවේචකයින්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පත්ව ඇත. ඔවුන් ඉතා වැරදි සහගත අයුරින් පවසන්නේ ඉස්ලාමය වෙත ජනයා හරවා ගනු ලැබුවේ බලය යෙදීමෙන් බවයි. මෙම මතය සහමුලින්ම වැරදි සහගතය. එහි අංශු මාත්‍රයකවත් සත්‍යතාවක් නොමැත. මුහම්මද් තුමාණන් විසින් මෙහි දී භාවිතා කොට ඇති වචන පිළිබඳ ඔවුන් කොහෙත්ම අවධානය යොමු කොට නොමැත. මෙහි යොදා ඇති අරාබි ක්‍රියාපදය වූ ඉතාම අර්ථවත්ය. අරාබි ව්‍යාකරණ පිළිබඳ සුළු වශයෙන් හෝ දැනුමක් ඇති අයෙකු මෙහි යොදා ඇති පදය අනුව එය ඒක පාර්ශවීය ක්‍රියාවක් නොව දෙපාර්ශවයේම සහභාගිත්වයෙන් සිදු කරන ක්‍රියාවක් බවය. නබි තුමාණන් දිරිගැන්වුයේ මුස්ලිම්වරුන්ට එරෙහිව ආයුද සන්නද්ධව සටනට ආ පිරිසට එරෙහිව සටන් කරන ලෙසය. මෙම දිරිගැන්වීම කොහෙත්ම සියලුම මුස්ලිම් නොවන්නන්ට එරෙහිව බලපාන්නක් නොවන බව ඉතාමත්ම පැහැදිලිය” (Commentary Of: Sahih Muslim, Book 1, Number 30 – Abdul Hamid Siddiqi’s Commentary – [Dar Al Arabia, Chapter IX] – volume1, page 16-17)

සාමයික සහජීවනය සඳහා වූ අලංකාර පුර්වාදර්ශයන් 

වසර දහතුනක් වැනි දීර්ඝ කාලයක් මක්කා වැසියන්ගේ දැඩි තාඩන පීඩනයන්ට මුහුණ දෙමින් කටයුතු කිරීමෙන් අනතුරුව මුහම්මද් තුමාණන්ට හා මුස්ලිම් වරුන්ට මදීනා නගරයට දෙශාන්තරණය කිරීමට දෙවිඳුන්ගේ අනුමැතිය ලැබිණ. මදීනා නගරය මක්කාවේ සිට කි.මී. 450 ක් පමණ දුරකින් පිහිටි අතර පරම්පරා ගණනාවක් තිස්සේ ගෝත්‍ර අතර පැවති ගැටුම් හේතුවෙන් විසිරී හා භේද වී ගිය ජන කොටස් ජීවත් වූ ප්‍රදේශයකි. මුහම්මද් නබි තුමාණන් මදීනා නගරයට ප්‍රවිෂ්ට වීමෙන් පසු වහාම කළ ක්‍රියාවන් කිහිපය අතුරින් වැදගත් ක්‍රියාවක් වුයේ දශක කිහිපයක් තිස්සේ විනාශකාරී ගෝත්‍රික ගැටුමකට මැදිහත් වී සිටි ‘අව්ස්’ හා ‘කස්රජ්’ නම් වූ ප්‍රධාන ගෝත්‍රික දෙපිරිසක් අතර සමගිය ස්ථාපිත කොට ඒ තුළින් සමාජ සහෝදරත්වය ගොඩ නැගීමය.

මදීනා නගරය මුල්කර ගනිමින් බිහි වූ ඉස්ලාමීය ජන රජයේ ජනාධිපතිත්වය දැරුවේ ද මුහම්මද් තුමාණන් ය. මිනිස් ඉතිහාසයේ ලේඛන ගත පළමු ලිඛිත රාජ්‍ය ව්‍යවස්ථාව හා මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ව වූ ලේඛනය, එනම් “මදීනා ප්‍රඥාප්තිය” සකස් කොට එ මගින් එම නගරයේ ජීවත් වූ යුදෙව්, කිතුනු, ඉස්ලාමීය, හා අනෙකුත් ජනකොටස් වල ආගමික, සංස්කෘතික, ආර්ථික, දේශපාලනික, හා සමාජ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්නට එතුමාණන් වගකීම භාර ගත්තේය. එම ජනයා එතුමාගේ සෘජු මැදිහත්වීම හා නායකත්වය යටතේ මෙම වටිනා නීති රීති ක්‍රියාවට නැංවුහ. 

පැරණි ගෝත්‍රිය උස් පහත්කම් ප්‍රබල දුබල වෙනස්කම් කුල වාදය වර්ණ වාදය ප්‍රදේශ වාදය යනාදී මිනිසා දුරස්ථ කළ සියලු සාධක සහමුලින්ම පාහේ ඉවත් කොට මිනිස්කම බිය බැතිමත්භාවය හා සහෝදරත්වය පදනම් කර ගත් ‘උම්මතය’ නමින් වූ මෙම සදාචාර සම්පන්න එක්සත් මිනිස් පරපුර බිහි වීම ඉස්ලාමීය ඉගැන්වීම් පිළිගැනීමත් සමගම නබි තුමාණන්ගේ නායකත්වයෙන් සිදු වූ තවත් අති වැදගත් සමාජ පෙරැළියකි. සාමයික සහජීවනය වෙනුවෙන් මුහම්මද් තුමාණන්ගේ කැපවීම හා දායකත්වය පිළිබඳ විස්තර ඉදිරිපත් කරන්නට ලිපියක අනු මාතෘකාවක් කෙලෙසවත් ප්‍රමාණවත් නොවන අතර මෙම තොරතුරු සටහන් කරන්නට සැබැවින්ම පිටු තුන් හාරසීයක ග්‍රන්ථයක් අනිවාර්යයෙන්ම අවශ්‍යය වනු ඇත. මෙහි දී ඉන් බිඳක් පමණක් ඔබගේ අවධානයට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නෙමු. 

මුහම්මද් තුමාණන්ගේ සාමයික සහජීවනය විදහා දක්වන තවත් අලංකාර උදාහරණයක් වන්නේ නජ්රාන් ප්‍රදේශයෙන් එතුමාණන් හමුවීමට පැමිණි කිතුනු පුජකවරුන්ගේ නියෝජිත පිරිස සමග එතුමා කටයුතු කළ ආකාරයයි. හැට දෙනෙකුගෙන් පමණ සමන්චිත වූ මෙම නියෝජිත පිරිස නවාතැන් ගත්තේ නබි තුමාණන්ගේ මස්ජිදයෙහි ය. දින කිහිපයක සාකච්ඡාවකින් පසු මුහම්මද් තුමාණන් හා නජ්රාන් ප්‍රදේශයෙන් පැමිණ කිතුනු නියෝජිත පිරිස අතර ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙම ගිවිසුම අනුව නජ්රාන් ප්‍රදේශයේ කිතුනුවන් හට පුර්ණ ආගමික ආර්ථික හා අනෙකුත් සියලු සමාජයීය නිදහස හා අයිතිවාසිකම් සහතික කර දෙන ලදී. මුහම්මද් තුමාණන්ට පසුව ඉස්ලාමීය ජනරජයේ දෙවැනි පාලකයා වූ උමර්තුමා අත්සන් කළ ගිවිසුම පහතින් දක්වා ඇත්තෙමු. මෙම ගිවිසුම ජෙරුසලමේ ‘උමර් මස්ජිදය’ නමින් හැඳින් වෙන මුස්ලිම් පල්ලියේ බිත්තියක ලොකු අකුරින් ලියා ප්‍රදර්ශනය කොට ඇති අයුරු වර්තමානයේදී ද දැකගත හැක.

“මුහම්මත්තුමාණන් විසින් නජ්රාන් ප්‍රදේශයෙන් පැමිණි කිතුනු නියෝජිතයින් සමග ඔවුන්ගේ වස්තුව, දහම හා දෙව්මැදුරු ආරක්ෂා කිරීමට ගිවිසුමකට එළඹුනාක් මෙන් උමර් ඉබ්න් අල් කත්තාබ් තුමා විසින් ඉලියා (ජෙරුසලම) ප්‍රදේශවාසීන් සමග එළැඹි ගිවිසුමේ පහත සඳහන් අයුරින් සඳහන් කොට තිබුණි.

‘මෙය, අල්ලාහ්ගේ ගැත්තා හා ඉස්ලාමීය පාලකයා වූ උමර් ඉබ්න් අල් කත්තාබ් විසින් මුස්ලිම් නොවන ජනයාට දෙනු ලබන ආරක්ෂාව පිළිබඳ ප්‍රඥාප්තියයි. ඔවුන්ගේ ජීවිත, වස්තුව, දෙව් මැදුරු, කුරුසියන් සහ සම්පුර්ණ ප්‍රජාවම ආරක්ෂා කිරීමට සහතික වෙමි. ඔවුන්ගේ දෙව් මැදුරු බලෙන් අල්ලා ගැනීම, බිඳ හෙළීම හෝ හානි කිරීම සිදු නොකළ යුතුය. ඔවුන්ගේ කුරුසියන් හෝ ඔවුන් සතු කිසිවක් කෙරෙහි අත නොතැබිය යුතුය. ඔවුන්ගේ දහම අතහරින ලෙස බල කරනු නොලබන අතර ඔවුන්ට කිසිම ආකාරයක හානියක් සිදු නොකළ යුතුය. යුදෙව්වන් ඔවුන් සමග ඉලියා හි වාසය නොකරණු ඇත’.” (Tarikh At-Tabari – Volume 3 – Page 609)

මෙලෙස ඉස්ලාමීය මුලාශ්‍රයන් අතුරින් ඉස්ලාමීය සාමයික සහජීවනයේ අලංකාර ඉගැන්වීම් රාශියක් උපුටා දැක්විය හැක. 

අබ්දුල්ලාහ් බින් උබයි ඉස්ලාමයට සතුරු කම් කරමින් ඉස්ලාමිකයෙකු ලෙස වංචනික අයුරින් රඟ පාමින් කටයුතු කළ අයෙකි. ‘උහ්ද්’ නම් ස්ථානයේ දී ඉස්ලාමයට විරුද්ධ මක්කාවාසී ජනයා සන්නද්ධ ගැටුමකට මදීනා නගරයට පැමිණි විට අබ්දුල්ලාහ් බින් උබයි යටතේ සිටි 300 ක් පමණ වූ පිරිස ආරම්භයේ මුස්ලිම් පාර්ශවයට උපකාර කිරීමට පොරොන්දු වී සටන් බිමට පිවිස ගැටුමේ අතරමගදී සටන් බිමින් ඉවත් ව යමින් මුස්ලිම් වරුන්ව මහත් දුෂ්කරතාවකට පත් කිරීමට කටයුතු කළ පුද්ගලයෙකි. එයට අමතරව මුහම්මද් තුමාණන්ගේ බිරියක් වූ ආයිෂා තුමිය පිළිබඳව අසත්‍ය කරුණු පදනම් කරගෙන චරිත ඝාතන කටකතා පතුරුවමින් ඉතා විශාල හානියක් කිරීමට ඉදිරිපත් වූවෙකි. මෙලෙස නබිතුමාණන්ට ඉස්ලාමයට හා මුස්ලිම් වරුන්ට විශාල හානියක් සිදු කළ ඔහු මියගිය විට ඔහුගේ මෘතදේහය සඳහා වූ සලාතය ඉටු කිරීමට තරම් මෘදු හා කාරුණික හදවතක් මුහම්මද් නබිතුමාණන් හට තිබිණි. තමන්ට කළ හැකි පහත් ම හානිය සිදු කළ වංචනික පුද්ගලයාට පවා කාරුණික ලෙස කටයුතු කරන්නට තරම් කාරුණිකත්වයේ ශ්‍රේෂ්ඨතම සංකේතය ලෙස මුහම්මද් තුමාණන් සිටි බව මෙම සිද්ධියෙන් මනාව පැහැදිලි වෙයි.

ආගමික ස්ථානයක් තුළ එම ස්ථානයට අපහාස වන අයුරින් යමෙක් කටයුතු කළේ නම් අති මහත් නොසන්සුන්තාවක් ඇති වීම වැළක්වීම අති මහත් දුෂ්කර කටයුත්තක් බවට පත් වනු ඇත. එම ආගමික ස්ථානයේ දහමට පිටස්තර අයෙකුගෙන් එවැන්නක් සිදු වුවහොත් තත්ත්වය තවත් වඩාත් බරපතළ විය හැක. ආගමික ස්ථානයේ ශ්‍රේෂ්ඨත්වය කෙලෙසන පරිදි පිටස්තර ආගමිකයෙකු එම ස්ථානය මුත්‍රා කිරීම මලපහ කිරීම වැනි කටයුත්තකට යොදා ගත් විට සිදු විය හැකි අති භයානක තත්ත්වය අමුතුවෙන් විග්‍රහ කරන්නට අවශ්‍ය නොවන තරමට ඉතාම පැහැදිලිය. දිනක් මුහම්මද් තුමාණන් හා මිත්‍රයින් මස්ජිදයේ සිටින අවස්ථාවක ඉස්ලාමිකයෙකු නොවන අයෙකු මස්ජිදයට ඇතුළු වී මුත්‍රා කරන්නට පටන් ගෙන ඇත. මෙය දුටු නබිතුමාණන්ගේ මිත්‍රයින් දැඩි කෝපයට පත් වී මෙම පුද්ගලයාට පහර දී පලවා හැරීමට ඉදිරිපත් වූ අවස්ථාවේ මහා කාරුණික නබි තුමාණන් ඔවුන් ව වළක්වා මෙම පුද්ගලයාට නිදහසේ මුත්‍රා කිරීමට ඉඩ හරින ලෙස දන්වා සිටියහ. එම පුද්ගලයා මුත්‍රා කොට පිට ව ගියාට පසු එම ස්ථානය ජලය යොදා පිරිසිදු කරන ලෙස උපදෙස් දුන් නබි තුමාණන් මුස්ලිම් නොවන සමාජයෙන් ඇති වූ මෙවන් නොමනා ක්‍රියාවන් ඉවසීමෙන් හා බුද්ධිමත් අයුරින් පාලනය කර ගන්නට කටයුතු කළහ. 

නබි තුමාණන්ගේ උපන් බිම මෙන්ම එතුමාණන් වඩාත් ප්‍රිය කළ මක්කාහ් නගරයේ වැසියන් එතුමාණන්ට හා අනුගාමිකයින්ට විවිධ ආකාරයේ හිංසනයන් සිදු කළ අතර අවසානයේ එතුමාණන් ව ඝාතනය කරන්නට ද කුමන්ත්‍රණය කළහ. මෙවන් හිංසනය හා භීෂණය හේතුවෙන් එතුමාණන්ට හා අනුගාමිකයින්ට මක්කාහ් නගරය අත හැර මදීනා නගරයට දෙශාන්තරණය කරන්නට සිදු විය. මෙම සිදු වීමෙන් වසර අටකට පසු කිසිම ගැටුමකින් තොරව ඉතා සාමකාමී අයුරින් මක්කාහ් නගරය මුස්ලිම් වරුන්ගේ පාලනය යටතට පත් විය. මෙසේ මක්කාහ් නගරය නිදහස් කර ගත් දින එහි සිටි වැසියන් තමන් විසින් මුස්ලිම් වරුන්ට පෙර කළ අපරාධයන් හේතුවෙන් බරපතළ දඬුවම් වලට මුහුණ දෙන්නට සිදු වේ යැයි මර බියෙන් පසු වුහ. නමුත් මහා කාරුණික මුහම්මද් තුමාණන් ඔවුන් වෙත ප්‍රසිද්ධියේ පවසා සිටියේ “නුඹලා සැවොම අද දින නිදහස්” යනුවෙනි. මෙය මක්කාහ් වාසීන්හට කිසිසේත්ම අදහා ගත නොහැකි තත්ත්වයක් විය. මෙයයි තමන්ට ශක්තිය හා බලය ඇති විට පළි ගැනීමේ චේතනාවන්ගෙන් මිදී කාරුණිකත්වය පෙරදැරි ව කටයුතු කිරීමේ අවශ්‍යතා ව පෙන්වමින් මහා කාරුණික නබි තුමාණන් මුස්ලිම් වරුන්ට ලබා දුන් අලංකාර පුර්වාදර්ශය වන්නේ. 

නබිතුමාණන්ට හා මුස්ලිම්වරුන්ට සතුරුකම් කළ මක්කාහ්වාසී කුරෛෂ් නායකයින්ගේ ප්‍රධානියෙකු වූ අබු සුෆ්යාන්ගේ බිරිය හින්දා නම් වුවාය. නබි තුමාණන්හට විශාල ශක්තියක් ව සිටි එතුමාණන්ගේ බාප්පා කෙනෙකු වූ හම්සා තුමාව උහ්ද් ප්‍රදේශයේ ඇති වූ සටනේ දී ඝාතනය කරන්නට සියලු සැලසුම් සකස් කොට එය ක්‍රියාත්මක කරන ලද්දේ හින්දා විසිනි. එතුමා ව ඝාතනය කළා පමණක් නොව මුස්ලිම්වරුන් කෙරෙහි ඇති වෛරය හා ක්‍රෝධය ප්‍රදර්ශනය කරමින් හින්දා විසින් හම්සා තුමාගේ ළය පෙදෙස පළා අක්මාව සපා කන්නට වුවාය. මිනිසත්කමට නිගාදෙන කිසිසේත්ම නොහොබිනා අයුරින් මුස්ලිම්වරුන්ගෙන් පළි ගැනීමට ඉදිරිපත් වූ හින්දාට ද මක්කාහ් නගරය සාමකාමී අයුරින් අත්පත් කර ගැනීමෙන් පසු නබිතුමාණන් විසින් සමාව ලබා දෙන ලදී. මිනිසත්කමේ ශ්‍රේෂ්ඨත්වය විදහා දක්වමින් සාමයික සහජීවනය සඳහා කළ මෙවන් ක්‍රියාවන් ට වඩා ආගමික නායකයෙකුගෙන් අපේක්ෂා කළ හැක්කේ කුමක් ද කියා අසන්නට කැමැත්තෙමු. 

“(නබිවරය) සමාව දීම නුඹ ගනිවු. යහපත විධානය කරවූ. අඥානයින් ව පිටුපා දමවූ.” (අල් කුර්ආනය 7:199) 

යුද්ධයක අවසානයක් දුටු සමාජයක් එකී යුද්ධය අවසානයේ ගොඩ නගන සමාජය ගැන බරපතළ ලෙස කල්පනා කළ යුතුව ඇත. එසේ නොවුණු විට නැවතත් අප ඇදීයන්නේ යුද්ධයකට විය හැක. නැවතත් යුද්ධයේ ගිනිසිළු දල්වන්නට වෙර දරන සතුරන් හඳුනා ගනිමු. පශ්චාත් යුද සමාජයක් අපට අප ගැන නැවත සිතා බලන්නට අවස්ථාව සලස්වයි. අතීතයේ අප කළ වැරදි නිවැරදි කර ගනු වස් එය ඉතා අගනා අවස්ථාවකි. ජීවිතය නැවත අලුතින් නිර්මාණය කළ යුතු ව ඇත. වෛරය ක්‍රෝධය ඉවත ලා සැමට සතුටින් සාමයෙන් ජීවත් විය හැකි සමාජයක් ස්ථාපිත කරන්න ට වහාම අවශ්‍ය පියවර ගන්නට ඉදිරිපත් වෙමු. නිෂේධනීය ලක්ෂණ ඉවත ලා සාධනීය ලක්ෂණ රකිමින් හා පෝෂණය කරමින් ඉදිරි ගමනක් අරඹමු. විසංවාදී නොවී සංවාදී සමාජයක් තුළ සියලු කරුණු සාමකාමී ව විසඳා ගැනීමට අධිෂ්ඨානශීලීව ක්‍රියා කරන්නට ලක් මවගේ සියලු දරුවන් එකට අත්වැල් බැඳ ගනිමු. සෞභාග්‍යයෙන් පිරි සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩ නගන්න ට අපගේ පුර්ණ දායකත්වය ලබා දෙමු.

“(විශ්වාසවන්තයිනි,) නීතිය අකුරටම පිළිපැදීමෙ හි අල්ලාහ් වෙනුවෙන් ඔබ සාක්ෂි දරවු. මිනිසුන්ගෙන් එක් කොටසක් කෙරෙහි (ඔබ තුළ ඇති) ද්වේෂය (ඔවුන්ට) අපරාධයක් කිරීමට ඔබ ව පොලඹවා නොගනිවු. (කොපමණ ක්‍රෝධයන් තිබුණ ද) ඔබ නීතියම ක‍්‍රියාත්මක කරවු. එය බිය බැතිමත්භාවයට ඉතා සමීප වන්නේය. (කුමන අවස්ථාවක දී වුවද) ඔබ අල්ලාහ්ටම බිය වවු. සැබැවින්ම අල්ලාහ් ඔබ කරන දෑ හොඳින් දන්නේය.” (අල් කුර්ආන් 5:8)

“යමෙක් තව අයෙකු ව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත කලහකම් පැතිර වීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙක්ව (නිකරුණේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එලෙසම යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනීද ඔහු මිනිස් වර්ගයාම බේරා ගත්තා හා සමානය.” (අල් කුර්ආනය 5:32)

(වැඩි විස්තර සඳහා Ref: https://discover-the-truth.com/2016/12/25/the-hadith-fight-until-they-say-there-is-no-god-but-allah-explained/)

ඥානසාර හාමුදුරුවන් විසින් මහාකාරුණික අල්ලාහ් පිළිබඳ ව ඉතා අපහාසාත්මක අයුරින් විවිධ මාධ්‍ය සාකච්ඡා වලදී සඳහන් කොට ඇත. මීළඟ ලිපියෙන් මහා කාරුණික දෙවිඳුන්ගේ උපකාරයෙන් ඒ පිළිබඳ විග්‍රහයක් ඉදිරිපත් කරන්නට අදහස් කරන්නෙමු.

ඥානසාර හාමුදුරුවන් තවත් නිතර නගන චෝදනාවක් ආරම්භ වන්නේ “තවද ශුද්ධ වූ මාස 4 පසු වූ වහාම, පිළිම වන්දනාකරුවන් සහ බහුදේවවාදෙන් දුටු දුටු තැන කපා කොටා ඝාතනය කරන්න….” යනුවෙනි. මෙය අල් කුර්ආනයේ නව වන පරිච්ඡේදයේ පස්වන වැකියේ කොටසක් යන්න අපගේ මතයයි. මේ පිළිබඳවත් මහාකාරුණික දෙවිඳුන්ගේ උපකාරයෙන් විග්‍රහයක් ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරන්නෙමු.

කර්තෘ: මනෝවිද්‍යා උපදේශක මොහොමඩ් දහලන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *