රාජකීය පණ්ඩිත ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ඉස්ලාමයට එරෙහිව නගන චෝදනා පිළිබඳ විග්‍රහය – 1

සිංහල ජනයා බහුතරයක් ලෙසින් ජීවත්වන ලොව එකම රට ශ්‍රී ලංකාවයි. ඔවුන් අතුරින් අතිමහත් බහුතරය බෞද්ධයන් ය. මෙය පදනම් කරගනිමින් මෙය සිංහල බෞද්ධ රටක් ලෙස කිසිදු තර්කයකින් තොරව පිළිගැනීමට අපි සැවොම බැඳී සිටින්නෙමු. විජය කුමරු ලංකාවට පා තබන්නේ ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණය සිදුවූ දිනයේ බව ‘මහාවංශය’ සඳහන් කරයි. එලෙසම යෝනක අරාබිවරු පිළිබඳවද සටහනක් මහාවංශයේ දක්නට ඇති බව පහත සඳහන් උපුටා ගැනීම පෙන්වා දෙයි. 

“පණ්ඩුකාභය රජ (ක්‍රි. පූ. 377 – 307) තම අගනුවර වූ අනුරාධපුරයෙහි යම් යම් ඉඩම් අගනුවරට පැමිණි පූර්ව ඉස්ලාමීය අරාබි වෙළෙන්ඳන් වූ යෝනකයන් සඳහා වෙන් කළේය. (මහාවංශය X – 90 වැනි පිටුව-මහාචාර්ය ලෝනා දේවරාජ- ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – සහශ්‍රයක ජනවාර්ගික සහජීවනය-පිටු අංක 72)

ධම්ම පදයෙන් හා කරණීය මෙත්ත සුත්‍රයෙන් කොටසක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු. 

න හි වෙරෙන වේරානි 
සම්මන්තීධ කුදාචනං
අවෙරෙන ව සම්මන්ති 
එස ධම්මො සනන්තනො (ධම්ම පදය-යමක වග්ග)

(අර්ථය: මේ ලෝකයෙහි කිසි කලෙකත් වෛර කිරීමෙන් වෛරයෝ නොසන්සිඳෙත්. වෛර නොකිරීමෙන් වෛරයෝ සන්සිඳෙත්. මෙය පෙර සිට පැවතෙන ධර්මයෙකි. නැතහොත් සැමදා පවතින ස්වභාවයකි.)

මාතා යථා නියං පුත්තං
ආයුසා එක පුත්ත මනුරක්ඛේ 
ඒවම්පි සබ්බ භුතෙසු 
මානසං භාවයෙ අපරිමානං (කරණීය මෙත්ත සුත්‍රය)

(අර්ථය: මවක් තම එකම දරුවා යම් සේ ආරක්ෂා කරයි ද  ඒ ආකාරයෙන් ම සියළුම සත්ත්වයන් කෙරෙහි සීමාරහිතව මෛත්‍රී සිත වැඩිය යුතුය)

මෙලෙස පවසමින් ප්‍රධාන මාතෘකාව වෙත යොමුවන්නට අදහස් කරන්නෙමු. යම් වැරදි හෝ අසත්‍යය කරුණක් නිතර පුනරුච්චාරණය කරමින් සිටින විට කල් යත්ම එය සත්‍යය ලෙස පිළිගැනෙන තත්ත්වයක් ඇතිවීම ලෝක ස්වභාවයයි. මුස්ලිම් නොවන සැවොම කාෆිර් වරුන් ලෙසත් ඔවුන් සමග සටන් කිරීමට මුහම්මද් ධර්මදුතයාණන් පවසා සිටි බවට නබි වදනක්(හදීස්) යැයි පවසන ප්‍රකාශණයක් ඥානසාර හිමියන් විසින් විවිධ මාධ්‍යය සාකච්ඡා හා රුපවාහිනි වැඩසටහන් හි නිතර උපුටා දැක්වීමට කටයුතු කරමින් සිටිනා බව අප දැක ඇත්තෙමු. 

උන්වහන්සේ පවසා සිටින පරිදි  “මොහොමද් දේශනා කළා ‘සියලුම මිනිසුන් ලා ඉලාහා ඉල්ලල්ලාහ්’ (එනම් අල්ලාහ් හැර වෙනත් කිසිම දෙවියෙකු නැත. අල්ලාහ් හැර වෙනත් කිසිම දෙවියෙකුට හෝ ආගමකට වන්දනාමාන ලැබීමට අයිතියක් නැත) යන වැකිය කියා දිවුරනතුරු (එනම් ඉස්ලාමය වැළඳගන්නා තුරු) ඔවුන්ට විරුද්ධ ව කල කෝලාහල / සටන් කළ යුතු බවට (අල්ලාහ් විසින්) නියෝග කොට ඇත. එසේ දිව්රන (එනම්, ඉස්ලාමය වැළඳ ගන්නා තුරු) කවරෙකුගේ හෝ පමණක් ජීවිතය සහ ඔහුගේ දෙපොල ආරක්ෂා වනු ඇත.”

මෙම ප්‍රකාශනයට අමතරව උන්වහන්සේ විසින් අල් කුර්ආන් වැකි කිහිපයක් උපුටා දක්වමින් පිළිම වන්දනාකරුවන් ඝාතනය කිරීමට ද කටයුතු කරන ලෙස අල් කුර්ආන් ඉගැන්වීම් ඇති බව දන්වා සිටිත්. මේ සියල්ල පිළිබඳ ව නිවැරදි විග්‍රහයක් ඉදිරිපත් කිරීම අපගේ වගකීමක් හෙයින් මහා කාරුණික දෙවිඳුන්ගේ උපකාරයෙන් එම කටයුත්ත ඉදිරි ලිපි මගින් සිදුකිරීමට අපේක්ෂා කරන්නෙමු. පළමුව උන්වහන්සේ විසින් මුස්ලිම් නොවන්නන්ට මුස්ලිම්වරුන් විසින් අපහාසාත්මක ලෙසින් උපයෝගී කරගන්නා යැයි සඳහන් ‘කාෆිර්’ යන පදය පිළිබඳ විග්‍රහයක් මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නෙමු. 

‘කාෆිර්’ යන්නෙන් අදහස් වන්නේ කුමක් ද?

‘කාෆිර්’ යනු අරාබි භාෂාවේ පදයක් වන අතර ඇතැම් මුස්ලිම් නොවන පිරිස එය එක්තරා ආකාරයක අපහාසාත්මක අර්ථයකින් භාවිතා වන බවත්, ඇතැම් අවස්ථාවන්හි දී එය සමාජ සුහදත්වය හා සංහිඳියාව බිඳ දමන අර්ථයෙන් භාවිතා වන්නක් බවත් ගෙනහැර දක්වති. සැබැවින්ම මෙවන් අර්ථ දැක්වීමක් සඳහා වූ සාධාරනීයත්වයක්,  ‘කාෆිර්’ යන පදයෙහි අන්තර්ගත ද? මෙම පදයෙහි මුල් අක්ෂර වන්නේ ‘ක ෆ ර’ ك-ف-ر   යන අරාබි අක්ෂරයන් ය. මෙහි පදගත අර්ථය වන්නේ ‘යමක් සඟවන්නා’, හෝ ‘යමක් ආවරණය කරන්නා’  යන්නය. රාත්‍රිය ‘කාෆිර්’ යන්නෙන් හඳුන්වන්නේ එහි අන්ධකාරයෙන් සියල්ල සැඟවුණු බවක් තිබෙන හෙයිනි. කුර්ආනයේ පනස්හත්වැනි පරිච්ඡේදයේ විසිවැනි වැකියේ ගොවියන් ව දක්වා ඇත්තේ ‘කුෆ්ෆාර්’ (කාෆිර් යන පදයේ බහු වචනය) ලෙසිනි. ඔවුන් බීජ පොළොවෙහි තබා එය පසින් ආවරණ කරන්නන් ව සිටින්නන් වීම මෙම යෙදුමට හේතුවක් ලෙස දැක්විය හැක. 

ඉස්ලාමීය යෙදුම අනුව මෙම පදයෙන් අර්ථවත් වන්නේ මහා කාරුණික අල්ලාහ් ව විශ්වාස නොකරන්නා හෝ අල්ලාහ් ව විශ්වාස කරමින් අල්ලාහ් විසින් විශ්වාස කිරීමට දන්වා ඇති දෑ විශ්වාස නොකරන්නා යන්නය. උදාහරණයක් ලෙස විශ්වාස කිරීමට දන්වා ඇති ධර්ම දුතයෙකු හෝ ධර්ම දුතයින් ප්‍රතික්ෂේප කිරීම, මරණින් මතු විනිශ්චය දිනය ප්‍රතික්ෂේප කිරීම වැනි හෝ තම විශ්වාස නොකිරීම ප්‍රකාශ කර සිටින්නෙකු ‘කාෆිර්’ කෙනෙකු නොහොත් විශ්වාස නොකරන්නෙකු ලෙස දැක්වේ. මෙහි කිසිදු ආකාරයක අපහාසයක් හෝ සමාජ සුහදත්වය හා සංහිඳියාව පළුදු කිරීමේ අර්ථයක් ගැබ් වී නොමැත. මෙය ඉස්ලාමයට පමණක් සීමා වූ සංකල්පයක් නොවේ. තම ආගමික පිළිවෙත ප්‍රතික්ෂේප කරන්නන් හැඳින් වීමට බුදුදහමේත් කිතුනු දහමේත් මේ ආකාරයේම යෙදුම් දකින්නට ඇත. මේවා පහතින් සාකච්ඡා කිරීමට අදහස් කරන්නෙමු. 

අප්‍රිකානු කළු ජාතිකයින් ව හැඳින්වීම සඳහා එක්තරා ආකාරයක අපහාසාත්මක වදනක් වූ ‘කාපිරි වරුන්’ යන පදය සමග ඇති උච්චාරණයේ සමීපතාව පදනම් කර ගනිමින් ‘කාෆිර්’ යන පදයේත් එවන් අපහාසයක් ඇතැයි සිතුවා විය හැක. නමුත් මෙම වදන් දෙක අහසට පොළොව තරම් අර්ථයෙන් දුරස්තය. ඉස්ලාමීය ඉගැන්වීම් අන් අයට හෝ අන් දහම්වලට අපහාස කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කොට ඇත.  අන්තර් ආගමික සම්බන්ධතාවන් හි දී දහම් අපහාසයට ලක් වන අයුරින් අදහස් ප්‍රකාශ කිරීම හා හැසිරීම බරපතළ කරුණක් බවට පත් ව ඇත. මෙවන් තත්ත්වයන් තුළින් අන්‍යෝන්‍ය සුහදත්වයට වඩා වෛරය හා ක්‍රෝධය වර්ධනය වීමේ ප්‍රවණතාවක් ඇති වීම නොවැළැක්විය විය හැකි කරුණකි. මෙලෙස අන් දහම් වලට අපහාස කිරීමේ තත්ත්වයක් කිසිසේත්ම ඉස්ලාමිකයෙකුගෙන් සිදු නොවිය යුතු බව අල් කුර් ආනය පැහැදිලි උපදෙස් ලබා දෙයි. 

“(විශ්වාසවන්තයිනි), අල්ලාහ් හැර කුමන දැයක් ඔවුන් අයදින්නේද එයට නුඹලා අපහාස නොකරවූ.” (6:108)

කුලවාදය, වර්ණවාදය, ජාතිවාදය, ආගම්වාදය වැනි මිනිසා එකිනෙකාගෙන් දුරස්ථ කරවන මත වාදයන් ඉස්ලාමීය ඉගැන්වීම් තුළ කිසිසේත්ම අන්තර්ගත වී නොමැත. මුස්ලිම් යනු වාර්ගික අනන්‍යතාවක් නොවේ. එය ආගමික අනන්‍යතාවක් පමණකි. මේ අනුව යුක්තිය, සාධාරණත්වය, නීති ගරුක බව මිනිසත්කම හා දේව භක්තිය පදනම් කර ගත් ‘උම්මතය’ නමින් හැඳින්වෙන විශ්ව මිනිස් සහෝදරත්වයේ එක් සාමාජිකයෙකු බවට සෑම ඉස්ලාමිකයෙකුම පත් වෙයි. එහෙයින් ඉස්ලාමිකයෙකුට වාර්ගිකත්වය පදනම් කර ගත් බෙදීමක කොටස් කරුවෙකු විය නොහැක. වාර්ගිකත්වය යථාර්ථයක් බව ඉස්ලාමය පිළිගත්තත් ඉස්ලාමිකයින් අතරේ වාර්ගිකත්වය පදනම් කර ගත් බෙදීමක් හෝ භේදයක් තිබිය නොහැක. 

ඔබට අයහපත කරන්නාට ඔබ යහපත කළ යුතු බව අල් කුර්ආනය උගන්වයි. අසල්වැසියන් ඉස්ලාමිකයින්ද නැද්ද යන්න පිළිබඳ තැකීමකින් තොරව මනුෂ්‍යත්වයේ සහෝදර පිරිසක් ලෙස සලකා ඔවුන්ගේ ප්‍රශ්න හා අවශ්‍යතාවන් තමන්ගේ ද වගකීමක් ලෙස සලකා කටයුතු කරන ලෙස අපට උගන්වයි. මිනිසාට ඇති එකම ජාතිය මනුෂ්‍ය ජාතිය බවත් අනෙකුත් වාර්ගිකත්වයන් එකිනෙකා හඳුනා ගැනීමේ සාධකයන් පමණක් බවත් ඉස්ලාමය උගන්වයි.

මුහම්මද් තුමාණන් දේශනා කර ඇත්තේ තම අසල්වැසියා කුසගින්නේ සිටිය දී අප කුස පිරෙන්නට අනුභව නොකළ යුතු බවය. අසල්වැසියා මුස්ලිම් ද මුස්ලිම් නොවන්නෙක් ද යන්න වැදගත් කරුණක් නොවේ. තවත් වරෙක මෘත දේහයක් රැගෙන යන පිරිසක් දුටු විට මුහම්මද් තුමාණන්  වහාම එයට ගෞරව පිණිස නැගී සිටි විට අසල සිටි මිතුරෙකු පවසා සිටියේ එය යුදෙව්වෙකුගේ මෘත දේහයක් බවයි. මෙයින් එම මිතුරා අදහස් කළේ එය යුදෙව්වෙකුගේ මෘත දේහයක් නිසා නැගී සිටීමට අවශ්‍ය නොවන බවයි. නමුත් මුහම්මද් තුමාණන් වහාම පවසා සිටියේ ඔහුත් මනුෂ්‍යයෙකු බවයි.

  • “ප්‍රඥාවෙන් යුතුව ද යහපත් උපදෙස් මඟින් ද නුඹගේ පරමාධිපතිගේ මාර්ගය වෙත ඇරයුම් කරවූ.” (අල් කුර්ආන් 16:125)3
  •  “දහම සම්බන්ධ ව බල කිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලි ව ඇත.” (අල්-කුර්ආන් 2:256)
  •  “සත්‍යය නුඹගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරය නුඹ) පවසවු. එහෙයින් කැමති අයෙකු විශ්වාස කරත්වා! කැමැති අයෙකු ප‍්‍රතික්ෂේප කරත්වා!” (අල්-කුර්ආන් 18:29)

ඉහතින් උපුටා දක්වන ලද අල් කුර්ආන් වැකි ඉතාමත් ම පැහැදිලි ව අපට දන්වා සිටින්නේ දහම පිළිබඳ ව බලය හෝ අන් කිසිම ආකාරයක පීඩනයක් කිසිවෙකු වෙත නොයොදවන ලෙසය. දහම පිළිබඳ ව ප්‍රචාරණ කටයුතු වල නියැළීම අල් කුර්ආනය අනුමත කරන අතර එය අන් අය ව පෙළීමකට ලක් නොකොට කළ යුතු කාර්යයක් වෙයි. 

ඉස්ලාමයේ දේව විශ්වාසය නොකරන්නාට ‘කාෆිර් (විශ්වාස නොකරන්නා) යන අරාබි පදය යොදා ඇති ආකාරයටම අනෙකුත් දහම් හි එම දහමේ මුලික ප්‍රතිපත්ති පිළිනොගන්නාට ඔවුන්ගේ සම්මතය අනුව එම අයව හැඳින්වීමට කටයුතු කොට ඇත. බුදු දහමේ මෙම අයව හඳුන්වන ආකාරය විමසා බලමු.

මිත්‍යා දෘෂ්ටිය – බුදු දහමින්  

බුදුදහමේ මුලික ප්‍රතිපත්ති, විශේෂයෙන්ම චතුරාර්ය සත්‍යය, පිළිනොගන්නා අයව මිත්‍යා දෘෂ්ටිකයින් ලෙස හැඳින් වේ. මේ අනුව ඉස්ලාමිකයින්, කිතුනුවන් හා බෞද්ධ නොවන අනෙකුත් දහම් අදහන්නන් මිත්‍යා දෘෂ්ටිකයින් බවට පත්වෙයි.   

පහත සඳහන් කොටස මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි විසින් රචිත “බෞද්ධයාගේ අත්පොත” ග්‍රන්ථයෙන් උපුටා ගත්තෙමු. මෙම ග්‍රන්ථයේ මිත්‍යා දෘෂ්ටිය පිළිබඳ බොහෝ විස්තර ඉදිරිපත් කොට ඇත. 

“නාහං භික්ඛවේ, එකධම්මම්පි සමනුපස්සාමි යං එවං මහාසාවජ්ජං: යථයිදං භික්ඛවේ මිච්ඡාදිට්ඨි. මිච්ඡාදිට්ඨි පරමා භික්ඛවේ වජ්ජානීති.
මහණෙනි, මේ මිත්‍යා දෘෂ්ටිය යම් බඳු ද එසේ මහාසාවද්‍ය වූ අන් එකම ධර්මයෙකු දු මාගේ සර්වඥතාඥානයෙන් නොදකිමි. මිත්‍යා දෘෂ්ටිය වරදවල් අතුරෙන් සියල්ලට ම මහත් වරද වේයැ”යි තථාගතයන් වහන්සේ වදාළ සේක. (මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි විසින් රචිත “බෞද්ධයාගේ අත්පොත” 78 වැනි පිටුව). 
‘මිත්‍යා දෘෂ්ටියෙහි විපාක’ 

“මේ මිත්‍යා දෘෂ්ටිය වනාහි මහා සාවද්‍ය වූ අකුසල කර්මයකි. ඒ බව බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායෙහි මෙසේ දේශනා කොට ඇත. ‘මහණෙනි, මේ මිත්‍යා දෘෂ්ටිය තරම් මහා සාවද්‍ය වූ අන් එකද ධර්මයක්වත් මගේ බුදු ඇසින් මම නොදකිමි. එහෙයින් මේ මිත්‍යා දෘෂ්ටිය අතිශයින්ම බරපතළ වූ මහා වරදකි. අකුසලයකි’ යනුයි. 
සාමාන්‍යයෙන් මේ මිත්‍යා දෘෂ්ටිය නම් වූ අකුසල කර්මයෙහි යෙදුණු පුද්ගලයෙක් වේ නම්, ඔහුට මේ සසරින් එතෙර වීමට අවකාශයක් නැත්තේය. සතර අපා ආදියෙහි වෙසෙන සත්වයෝ පවා කල්ප විනාශය වන කල්හි ආභස්සර බ්‍රහ්ම ලෝකයෙහි උපදිති. එහෙත් නියත මිසදිටුවාට ඒ කාල සීමාවෙහි පිටසක්වළ එක්තරා අපායක දුක් විඳීමට සිදු වන්නේය”. 
(‘කර්මය හා විපාකය – I කාණ්ඩය’ 11 වැනි පිටුව – අභිධර්ම විශාරද ලසන්ත රත්නගොඩ)

 “මිත්‍යා දෘෂ්ටිය හෙවත් වැරදි දැක්ම වනාහි අතිශය මහා සාවද්‍ය වූ අකුසලයක් බව බුදු බනෙහි සඳහන් වේ. සියලු පාපයන්ට වඩා මිත්‍යා දෘෂ්ටිය බලවත් වූ පාපයකි. එහෙයින් එය කරණ කොට ගෙන පුද්ගලයා අට මහා නිරයන් හි අප්‍රමාණව දුක් විඳින බව බෞද්ධ සුත්‍ර දේශනාවල සඳහන් වේ. 

බුදුරජාණන් වහන්සේ වැඩ වෙසෙන සමයේ පවා විවිධ මිත්‍යා දෘෂ්ටික මත එල්බ ගත් පුද්ගලයෝ සිටියහ. ඔවුන් විසින් එල්බ ගත් මතවාද දෙසැටක් පිළිබඳ ව බ්‍රහ්මජාල සුත්‍රයෙහි සඳහන් වේ”. 
(‘කර්මය හා විපාකය – II කාණ්ඩය’ 14 වැනි පිටුව – අභිධර්ම විශාරද ලසන්ත රත්නගොඩ)

‘මිත්‍යා දෘෂ්ටිය’ පිළිබඳ ශ්‍රී ලාංකේය බෞද්ධ ක්‍ෂේත්‍රයේ දැක්ම

ආචාර්ය දීගල්ලේ මහින්ද ස්වාමීන් වහන්සේ විසින් සංස්කරණය කරන ලද පර්යේෂණාත්මක ලිපි අඩංගු ‘බුදුසමය සහ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ඝට්ටනය’ නම් ග්‍රන්ථයට ලිපියක් සපයන ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සංස්කෘත අංශයේ මහාචාර්ය රිචර්ඩ් එෆ්. ගොම්බ්‍රිච් මහතා පහත සඳහන් අයුරු කරුණු දක්වා ඇත. මේ අනුව ශ්‍රී ලාංකේය බෞද්ධ ක්‍ෂේත්‍රයේ ‘මිත්‍යා දෘෂ්ටිය’ පිළිබඳ ඇති දැක්ම අවබෝධ කරගත හැකි වනු ඇත. 

“මුළු මහාවංශයම ජාත්‍යානුරාගී දෘෂ්ටියෙන් ලියා ඇති අතර එහි එන එක පුවතක් ඉමහත් ආන්දෝලනයකට තුඩු දී ඇත. එනම් එළාර රජු පරාජය කිරීමෙන් පසුව තමන් අතින් විශාල හමුදාවක් ඝාතනය වීම ගැන චිත්ත පීඩාවට පත් ව සිටි දුටුගැමුණු රජු අස්වසනු වස් බෞද්ධ භික්ෂුවක් මෙසේ කීමයි, එනම් ‘එම කාර්යය ඔබට දෙව්ලොව යාමට බාධාවක් නොවේ. ඔබ අතින් සිදු වී ඇත්තේ මනුෂ්‍යයන් එකහමාරක ඝාතනයක් පමණි. මිය ගිය එක් අයෙක් තෙරුවන් සරණ ගොස් සිටි අතර අනෙකා ඊට අමතරව පන්සිල් හි පිහිටියේ විය. මිය ගිය අන්‍යයෝ මිසදිටු වූ ද අදැහැමි වූවෝ ද වූහ. ඔවුහු තිරිසනුන් හා සමානය. ඔබ අතින් බුදු සසුන බැබළෙනු ඇත. එහෙයින් පසුතැවිලි නොවන්න’” (මහාවංශය XXV පරිච්ඡේදය, 108 – 111 ගාථා).

කිතුනු දහම (Disbeliever – විශ්වාස නොකරන්නා)

කිතුනු දහමේ ඉගැන්වීම් අනුව එහි මුලික ප්‍රතිපත්ති පිළිනොගන්නන් ව විශ්වාස නොකරන්නන් ලෙස දක්වා ඇති අතර එහි ඇතැම් ප්‍රතිපත්ති පහත සඳහන් බෛබල් වැකි මගින් දැක ගත හැක. සිංහල බෛබලයක් නොලැබුණු හෙයින් එම වැකියන්හි මුලාශ්‍රයන් පමණක්  ඉංග්‍රීසි බසින් දක්වා ඇත්තෙමු. (2 Corinthians 6:14, Ephesians 4:18 2 Corinthians 4:4, ) 

සමස්තයක් ලෙසින් ගත්කල සෑම දහමකම එම දහමේ ප්‍රතිපත්ති පිළිනොගන්නන් ව හැඳින්වීමට කාෆිර් (විශ්වාස නොකරන්නා) හෝ මිත්‍යාදෘෂ්ටිකයා වැනි වදන් භාවිතා කොට ඇත. මේවා පිළිබඳ ව ඉහතින් ඉදිරිපත් කළ විස්තර කිරීම තුළින් බොහෝ කරුණු පැහැදිලිවී ඇතැයි විශ්වාස කරන්නෙමු. මෙයින් අපහාසාත්මක අර්ථයක් ඇතැයි යන්න සත්‍යය නොවේ.

එහෙයින් ගෞරවණීය ඥානසාර හිමියනි, අපි සත්‍යය පදනම් වූ යථාර්ථය අවබෝධ කරගනිමු. වෛරය හෝ ද්වේශය පදනම් කරගනිමින් අන් දහම් විවේචනය නොකොට සියළු දහම් අතර සුහදත්වය, සත්‍යය හා අවබෝධය පදනම් කරගත් සංවාදශීලී බැඳියාවක් ගොඩනගන්නට කටයුතු කරමු. ඔබ වහන්සේ විසින් විකෘති කොට නිතර සඳහන් කරන ආරම්භයේ සඳහන් හදීස් වැකිය පිළිබඳ ව විග්‍රහයක් ඊළඟ ලිපියෙන් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නෙමු. තවද පිළිම වන්දනාකරුවන් ඝාතනය කිරීමට කුරානය උගන්වන බවට ඔබවහන්සේ උපුටා දක්වන සියළු වැකි පිළිබඳ ව ද විග්‍රහයන් ඉදිරිපත් කිරීමට බලාපොරෝත්තේ වන්නෙමු. 

යුද්ධයක අවසානයක් දුටු සමාජයක් එකී යුද්ධය අවසානයේ ගොඩ නගන සමාජය ගැන බරපතල ලෙස කල්පනා කළ යුතුව ඇත. එසේ නොවුණු විට නැවතත් අප ඇදීයන්නේ යුද්ධයකට විය හැක. නැවතත් යුද්ධයේ ගිනිසිළු දල්වන්නට වෙර දරන්නන් හඳුනා ගනිමු, පශ්චාත් යුධ සමාජයක් අපට අප ගැන නැවත සිතා බලන්නට අවස්ථාව සලස්වයි. අතීතයේ අප කළ වැරදි නිවැරදි කර ගනු වස් එය ඉතා අගනා අවස්ථාවකි. ජීවිතය නැවත අලුතින් නිර්මාණය කළ යුතුව ඇත.  වෛරය ක්‍රෝධය ඉවතලා සැමට සතුටින් සාමයෙන් ජීවත්වියහැකි සමාජයක් ස්ථාපිත කරන්නට වහාම අවශ්‍ය පියවර ගන්නට ඉදිරිපත් වෙමු. නිෂේධනීය ලක්ෂණ ඉවතලා සාධනීය ලක්ෂණ රකිමින් හා පෝෂණය කරමින් ඉදිරි ගමනක් අරඹමු. විසංවාදී නොවී සංවාදී සමාජයක් තුල සියළු කරුණු සාමකාමීව විසඳා ගැනීමට අධිෂ්ඨාන ශීලීව ක්‍රියා කරන්නට ලක් මවගේ සියළු දරුවන් එකට අත් වැල් බැඳ ගනිමු. සෞභාග්‍යයෙන් පිරි සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩ නගන්නට අපගේ පුර්ණ දායකත්වය ලබා දෙමු. 

කර්තෘ: මනෝවිද්‍යා උපදේශක මොහොමඩ් දහලන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *