ඉස්ලාමය අතහැර නිදහස සොයායන මුස්ලිම්වරු: මෙය, සත්‍යය පදනම් වුවක් ද? නොමැතිනම් හිස් ප්‍රලාපයක් ද?

“ඉස්ලාමය අත්හැර නිදහස සොයායන මුස්ලිම්වරු” යන මැයෙන් 2021 සැප්තැම්බර් 11 දිනැතිව ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා මහතා විසින් ‘දේශය’ පුවත්පතට සපයා තිබු ලිපිය පිළිබඳ පැහැදිලි කිරීමක් මෙමගින් ඉදිරිපත් කරන්නට අදහස් කරන්නෙමු. එතුමාගේ ලිපියේ ඉදිරිපත් කොට තිබු ප්‍රධාන කරුණු වෙත පළමුව අවධානය යොමු කරමු.  

එතුමා පවසන ආකාරයට වර්තමානය වනවිට ඉස්ලාම් දහම ඇදහූ බොහෝ තරුණ පිරිස් අදේවවාදීන් වීමේ ප්‍රවණතාවක් මතුව තිබේ. මේ සඳහා උදාහරණ ලෙස කුවේට් ජාතික නිළියක් හා මාධ්‍යය වේදියෙකු ඉස්ලාමය අතහැර යාම උදාහරණ ලෙස දක්වයි. ලොවේ ඕනෑම දහමක පිරිසක් අදේවවාදීන් හෝ වෙනත් දහමක් වැළඳ ගැනීම ඉස්ලාමයට පමණක් සීමාවූ සංසිද්ධියක් නොවේ. මෙය ලොවේ සියළු දහම්වලට පොදුවේ බලපාන ධර්මතාවකි. කෙන්දක් කන්දක් කොට පෙන්වීමට වෙහෙස නොවී ලෝක යථාර්ථය අවබෝධ කරගැනීමට කටයුතු කරන්නේ නම් යෙහෙකැයි සිතන්නෙමු. එක් වෙබ් අඩවියක හෝ තවත් මාධ්‍යයක සඳහන් වූ පමණින් සියල්ල සත්‍යයැයි නිගමනය කිරීමට අපට හැකියාවක් තිබේ ද? මෑතකදී භික්ෂුන් කිහිප දෙනෙක් මත්පැන් හා ස්ත්‍රී පහස ලබන්නට කටයුතු කරතිබූ බව මාධ්‍යය මගින් දැනගන්නට ලැබුණි. මෙවැනි සිදුවීම් පදනම් කරගෙන භික්ෂුන් වහන්සේලා සැවොම එවැනි පිරිසක් ලෙසත් මෙය බුදු දහම මැනීමේ මිනුම් දණ්ඩක් ලෙසත් කළඳක් වත් බුද්ධිය ඇති කෙනෙකු නොකරන ක්‍රියාවකි. ලොව ප්‍රකට පිව් පර්යේෂණ (PEW RESEARCH) ආයතනය මගින් කරන ලද සමීක්ෂණයක් අනුව 2015-2060 කාල වකවානුව තුල වඩාත් සීග්‍රයෙන් ව්‍යාප්තවන වන දහම ලෙස දක්වා ඇත්තේ ඉස්ලාමයයි. එම වර්ධන ප්‍රතිශතය පහත සඳහන් අයුරිනි. 

ඉස්ලාම්                 + 70%
කිතුනු දහම             + 34%
හින්දු දහම              + 27%
යුදෙව් දහම             + 15%
බුදු දහම                 –  07% 
මෙම විස්තර පහත සඳහන් වෙබ් අඩවියෙන් ලබා ගත හැක. 
https://www.pewresearch.org/fact-tank/2017/04/06/why-muslims-are-the-worlds-fastest-growing-religious-group/

මුස්ලිම්වරුන් ඉස්ලාමය අතහැර යාමට හේතු වශයෙන් ප්‍රියන්ජන් මහතා හේතු කිහිපයක් ගෙනහැර දක්වයි. ඒ අනුව “කාන්තාවන්ට පහර දීමට ඉඩදීම, යුද්ධවලදී කාන්තාවන්ගේ වහල්භාවය පිළිගැනීම සහ වෙනත් ජාතීන්ට එරෙහිව ජිහාද් ප්‍රකාශ කිරීම ජිසියා නමැති බදු ගෙවන්න නැතිනම් මරණයට සූදානම් වන්නැයි බල කිරීම නිසාද බොහෝ පිරිස් ඉස්ලාමයට එක්වීමෙන් බැහැර වී තිබේ. තවත් කරුණු කිහිපයක් නම් ග්‍රන්ථවල සඳහන් “වැඩිහිටියන්ට මව්කිරි දීම”, “තරුණියන්ගේ විවාහය”, සහ ලේවැකි “ඉස්ලාමීය කාලිෆේට්” රාජ්‍යය යන මතවාද සහ අනෙකුත් සාහසික ක්‍රියාවන් අන්තර්ජාලය හා සමාජ ජාල නිසා ව්‍යාප්ත  වීම ගෙනහැර දක්වයි”. 

මෙහිදී කාන්තාවන්ට පහර දීමට ඉඩදීම පිළිබඳව විමසා බලමු. පොදුවේ කාන්තාවන්ට පහර දීමට ඉඩහැර ඇති බව ප්‍රියන්ජන් මහතා සොයා ගත්තේ කොහෙන්ද යන්න දැනගන්නට කැමැත්තෙමු.  නමුත් කුර්ආන් වැකියක පහත සඳහන් අයුරින් සඳහන් වෙයි. 

“(භාර්යාවන් අතුරින්) කවුරුන්ගේ අකීකරුකම පිළිබඳ ව නුඹලා බියවන්නේ ද ඔවුනට නුඹලා උපදෙස් දෙවු. පසුව (ඉන් ඔවුන් කීකරු නොවූයේ නම්) නිදි යහනින් ඔවුන්ව දුරස් කරවූ. පසුව (එයින්ද ඔවුන් කීකරු නොවුයේ නම්) ඔවුනට ගසවූ. ඔවුන් නුඹලාට අවනත වුයේ නම් ඔවුනට එරෙහිව අන් කිසිදු පියවරක් නොගනිවූ. සැබැවින්ම අල්ලාහ් උත්තරීතරය, අති ශ්‍රේෂ්ඨය.” අල් කුර්ආන් 4:34)

බිරියකගේ අයහ හැසිරීමෙන් යහ මගට ගෙන ඒම පිණිස ක්‍රියා මාර්ගයන් තුනක් මෙහි දැක්වේ. මෙහි දක්වා ඇති අනුපිළිවලින් එක් මගක් සාර්ථක වන්නේ නම් ඊළඟ මගට නොයා යුතුය. විශේෂයෙන්ම ධර්ම දුත මුහම්මද් තුමාණන් තුන්වන ක්‍රියා මාර්ගය වන තරවටු කිරීම පිළිබඳ ව නිශ්චිත උපදෙස් ලබා දී ඇත. ඉතා අන්ත තත්ත්වයක දී හැරෙන්නට තරවටු නොකළ යුතුය. විවිධ එතුමාගේ වදන් අනුව පැහැදිලි කොට ඇත්තේ බිරියට තරවටු කිරීම අප්‍රසාදයට ලක් වූ ක්‍රියාවක් බවය. එතුමාගේ එක් වදනක් අනුව ‘යහ මිනිසුන් වන්නේ බිරියට නොගසන්නන් ය’ (මුලාශ්‍රය: රූහුල් මආනි, බයිහාකි)

අල් කුර්ආනය අවසන් පියවරක් ලෙස මෙය අනුමත කොට ඇතිමුත් ධර්මදුත මුහම්මද් තුමාණන් කම්මුලට ගැසීම හා ශරීරයේ සලකුණු පිහිටන සේ පහර දීම ආදිය තහනම් කොට ඇත. මෙම පියවරෙන් අපේක්ෂිත වන්නේ බිරියගේ මනසෙහි තම වැරදි ක්‍රියා මාර්ගය පහර දීමට තරම් බරපතළ කමක් යැයි ඒත්තු ගැන්වීම මිස කායික රිදවීමක් නොවේ. අප රටේ දක්නට ඇති පවුල් ආරාවුල් වලදී විවිධ ක්‍රම මගින් ස්ත්‍රීන් ඝාතනයට ලක් කිරීමට වඩා මෙය කෙතරම් යහපත් පිළිවෙතක් ද.

“යුද්ධවලදී කාන්තාවන්ගේ වහල්භාවය පිළිගැනීම ඉස්ලාමය හැර යන්නට මීළඟ හේතුව ලෙස ප්‍රියන්ජන් මහතා දක්වයි”. මෙවන් හාස්‍යය ජනක කරුණු ඉදිරිපත් කිරීම ගැන විමතියට පත් වන්නෙමු. යුද්ධයක් අවසානයේ දී ජයග්‍රාහි පාර්ශවය විසින් සතුරු පාර්ශවය යටහත් කර ගැනීම ලෝක සම්මතයක්. ඔවුන් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව යුද සිරකරුවන් ලෙස ගැනීම සිදුවන්නක්. එය ඉස්ලාමයට පමණක් සීමාවූවක් නොවේ. 

වෙනත් ජාතීන්ට එරෙහිව ජිහාද් ප්‍රකාශ කිරීම තවත් හේතුවක් ලෙස ප්‍රියන්ජන් මහතා ගෙනහැර දක්වයි. එතුමා ජිහාද් යන්නෙන් අදහස් වන්නේ කුමක්ද යන්න අවබෝධ කරගෙන ඇති බවක් දකින්නට නොමැත. ‘ජිහාද්’ යන අරාබි වචනයේ මුල් පද අක්ෂර වන්නේ ජ-හ-ද යන්නය. ප‍්‍රයත්නය, වෑයම, ආයාසය, උත්සාහය යන පදයන්ගෙන් මෙහි අර්ථය එක්තරා ප්‍රමාණයකට හුවා දැක්විය හැකිය. ඉස්ලාමීය කෝණයෙන් ‘ජිහාද්’ යනු හුදෙක් ප‍්‍රයත්නය යන අර්ථය පමණක් ගෙන දෙන්නක් නොවේ. එය යහ විපාක අපේක්ෂාවෙන් දෙවිඳුන්ගේ තෘප්තිය උදෙසා කරන්නා වූ නැමදුමක් ද වන්නේය. තවත් අතකින් පීඩාකාරී, හිංසාකාරී හා දුෂ්කරත්වය මැද දහමේ නියමයන්ට අනුකූලව කටයුතු කිරීම ද ජිහාදය ලෙස විග‍්‍රහ කළ හැක. ජිහාදයේ අනු ප‍්‍රභේද කිහිපයක් ඉස්ලාමීය විද්වතුන් විසින් විස්තර කොට ඇතත් බහුතරයේ මතය අනුව එහි ප‍්‍රභේද තුනක් ඇති බව පිළිගෙන ඇත.

  1. චෛතසිකයෙන් කරන්නාවූ ජිහාදය (චිත්ත පාරිශුද්ධිය උදෙසා අකුසලයට නැඹුරුවූ හැඟීම් සමඟ කරන්නාවූ චෛතිසික අරගලය.)
  2. ශරීරය හා වස්තුව උපයෝගි කරගෙන කරන්නාවූ ජිහායද. (සාමය හා යුක්තිය ස්ථාපිත කිරීම වැනි යහ අරමුණකින් කරන්නා වූ සටනකට සහභාගිවීම, තම ශරීරය වෙහෙසා අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් කටයුතු කිරීම, තම වස්තුව අල්ලාහ්ගේ මඟෙහි යහ විපාක අපේක්ෂාවෙන් වියදම් කිරීම.)
  3. දිව උපයෝගි කරගෙන කරන්නාවූ ජිහාදය. (සත්‍යය අන් අයට පැහැදිලි කරදීමට හා යහමඟට ජනයාව ආරාධනා කරන්නට කරන්නා වූ පැහැදිලි කිරීම් ආදිය.)

මෙයට වඩා දීර්ඝ විග්‍රහයක් ඉදිරිපත් කිරීමට මෙම ලිපිය ප්‍රමාණවත් නොවෙයි. 


එතුමාගේ තවත් කරුණු ඉදිරිපත් කිරීමක් නම් “ජිසියා නමැති බදු ගෙවන්න නැතිනම් මරණයට සූදානම් වන්නැයි බල කිරීම නිසාද බොහෝ පිරිස් ඉස්ලාමයට එක්වීමෙන් බැහැර වී තිබේ යන්නය”. කරුණාකර ජිහාද් වගේම ජිස්යා යන්නෙන් අදහස් වන්නේ කුමක් ද යන්නත් අවබෝධ කරගෙන කරුණු ඉදිරිපත් කරන්නේ නම් යෙහෙකැයි සිතන්නෙමු. ඉස්ලාමීය රාජ්‍යයක වෙසෙන මුස්ලිම් නොවන්නන් ව හඳුන්වන්නේ ‘දිම්මි’ වරුන් ලෙසය. ඔවුන්ට මුස්ලිම් රාජ්‍යයේ පුර්ණ ආරක්ෂාව සහතික කොට ඇත. වර්තමානයේ ආරක්ෂක බද්ද හා සමාන වූ ‘ජිස්යා’ නම් වූ බද්ද ගෙවීම තුළින් හමුදා සේවයෙන් ඔවුන් නිදහස් වන්නේය. හමුදාවට බැඳෙන ලෙස ඔවුන්ට බල කිරීමක් නොමැත.  

සෑම මුස්ලිම් නොවන්නෙක්ම ‘ජිස්යා’ බදු ගෙවිය යුතු නොවන්නේය. සමහර පාර්ශවයන් ‘ජිස්යා’ බදු ගෙවීමෙන් වැළකී සිටීමට හැකිය. එම පාර්ශවයන් පිළිබඳ විස්තර සංක්ෂිප්තව පහතින් දක්වා ඇත්තෙමු.

1.      කාන්තාවන් හා ළමුන් 
2.      ධනවත් වූවත් ආබාධිතයින්, අන්ධයින් හා වයෝවෘධයින් 
3.      දුප්පත් හා මානසික රෝගීන් 
4.      දෛනික වේතන උපයන්නන්, සේවකයින් හා කුලී කම්කරුවන්    
5.      ධනවත් වූවත් නිදන්ගත රෝගීන් 
6.      ආගමික නායකයින් හා සියලූම පුජක පක්ෂය  
7.      මුස්ලිම් නොවන්නෙකු ස්වේච්ඡාවෙන් හමුදා සේවයට බැඳී රට ආරක්ෂා කිරීමට ඉදිරිපත් වෙන අවස්ථාවක හා 
8.      මුස්ලිම් නොවන්නන් ව ආරක්ෂා කිරීමට පහසුකම් සැපයීමට ඉස්ලාමීය රාජ්‍යය අපොහොසත් වන අවස්ථාවන්හි දී  ‘ජිස්යා’ බදු ගෙවීමේ වගකීමෙන් නිදහස් වන්නේය. 
 (See IbnulQayyim, AhkamAhlulDhimma, Volume1, pp.8, 15 and al-Shafi’, al-Umm¸ pp. 172-1) 

ඕනෑම කාලවකවානුවක සෑම රජයකටම ගෙවනු ලබන බදු මුදල හා සමාන බද්දක් ලෙස මෙය සැලකිය හැක. සෑම පුරවැසියෙක්ම මහජන සේවාවන් නඩත්තු කිරීම පිණිස බදු මුදලක් ගෙවීමට අවශ්‍යය වන්නේය. උසාවි, පොලිස් සේවාව, මහජන සේවා කටයුතු, මංමාවත් හා පාලම් ඉඳිකිරීම හා අලුත්වැඩියා කිරීම හා මහජන යහපත සඳහා පවත්වාගෙන යන පොදු සේවාවන් සඳහා බදු අයකර ගැනීමේ අවශ්‍යතාව ඇත්තේය. මුස්ලිම්වරුන් ‘සකාත්’, ‘සදකතුල් ෆිත්ර්’ හා අනෙකුත් ‘සදකා’ නමින් හැඳින්වෙන පුණ්‍යමය දීමනා මගින් මෙම කටයුත්තට දායක වෙති. එහෙයින් මුස්ලිම් නොවන්නන්ගෙන් මෙවන් සුළු ‘ජිස්යා’ නමින් වූ බද්දක් අයකර ගැනීම පුදුමයට හේතුවක් නොවේ. 

මෙලෙස ගෙවන්නට සිදුවන මුදල ඉස්ලාමීය රාජ්‍යයට මුස්ලිමරුන් ගෙවන සාමාන්‍ය බදු මුදලට වඩා බෙහෙවින්ම ඉතා අල්ප ප්‍රමාණයකි.  මෙහිදී ජිස්යා බදු මුදල් ගෙවීම පැහැර හරින්නන් මරා දමන්නට කොහෙවත් සඳහන් නොවේ. 

එතුමා තවත් වැදගත් කරුණු කිහිපයක් ඉදිරිපත් කරයි. ඒවා නම් ග්‍රන්ථවල සඳහන් “වැඩිහිටියන්ට මව්කිරි දීම”, “තරුණියන්ගේ විවාහය”, සහ ලේවැකි “ඉස්ලාමීය කාලිෆේට්” රාජ්‍යය යන මතවාද සහ අනෙකුත් සාහසික ක්‍රියාවන් අන්තර්ජාලය හා සමාජ ජාල නිසා ව්‍යාප්ත  වීම ගෙනහැර දක්වයි. කරුණාකර ඉස්ලාමයට එරෙහිව කරුණු දක්වන්නේ නම් ඒවාට ඉස්ලාමයේ ප්‍රධාන මුලාශ්‍රයන් වූ කුර්ආනය සහ නබි වදන් මගින් කරුණු ඉදිරිපත් කළ යුතුය. ඒ හැරෙන්නට හිස් ප්‍රලාප දෙඩීම බුද්ධිමත් කිසිවෙකුට කිසිදු ප්‍රයෝජනයක් ගෙන දෙන්නක් නොවේ. 

එතුමා තවත් මෙලෙස කරුණු ඉදිරිපත් කරයි. “ඉස්ලාම් ආගම ඒක පාක්ෂිකය. එය වෙනත් ආගම් අදහන්නන් තම ආගමට ගැනීමට කටයුතු කරන නමුදු ෂරියා (ඉස්ලාමීය නීතිය) විසින් නියම කර ඇති පරිදි ඉස්ලාම් ආගම අදහන කිසිවකුට ආගම අත්හැරිය නොහැකිය. ඔවුන්ට අනුව ඇදහිල්ල අත්හැරීමට දඬුවම මරණයයි. තවද ඉස්ලාමය හැරගිය පුද්ගලයකු ඝාතනය කිරීම සාමාන්‍ය දෙයකි”. 

ඉස්ලාමය අතහැර යන්නන් පිළිබඳ කටයුතු කිරීම සම්බන්ධයෙන් ඉස්ලාමීය විද්වතුන් අතර මත වෙනස් කම් දකින්නට ඇත. ඉස්ලාමයේ උත්තරීතර මුලාශ්‍රය වූ අල් කුර්ආනයේ ඔවුන්ට මෙලොව දඬුවමක් කොහේවත් සඳහන් නොවේ. මේ සම්බන්ධව පහත සඳහන් කුර්ආන් වැකි වැදගත් වේ යැයි සිතන්නෙමු. 

  • “දහම සම්බන්ධ ව බල කිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලි ව ඇත.” (අල්කුර්ආන් 2:256)
  • “සත්‍යය නුඹගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරය නුඹ) පවසවු. එහෙයින් කැමති අයෙකු විශ්වාස කරත්වා! කැමැති අයෙකු ප‍්‍රතික්ෂේප කරත්වා!” (අල්කුර්ආන් 18:29)
  • “නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිහිතලය මත සිටිනා සියල්ලන්ම විශ්වාසවන්තයින් වන්නට ඉඩ තිබිණ. එබැවින් මිනිසුන් (සියල්ල) විශ්වාසවන්තයින් වන ලෙස නුඹ (මුහම්මද් නබිවරය,) ඔවුන්ට බල කරන්නෙහි ද?”  (අල්-කුර්ආන් 10:99)
  • “ඔවුන් පවසන දෑ පිළිබඳ ව අපි මැනවින් දනිමු. නුඹ (නබිවරය) ඔවුන් කෙරෙහි බලපරාක්‍රමය යොදවන්නෙකු නොවේ. එබැවින් මාගේ අනතුරු ඇඟවීමට බියවන්නා වෙත අල් කුර්ආනය මගින් අනුශාසනා කරවූ.” (අල්-කුර්ආන් 50:45)
  • “(නබිවරය) ඔවුන් පිටුපෑවේ නම් එවිට නුඹව ඔවුනට ආරක්ෂකයෙකු ලෙස අපි නොඑව්වෙමු. (දේව පණිවිඩය) දැනුම් දීම මිස (බල කිරීම කෙරෙහි කිසිදු වගකීමක්) නුඹ කෙරෙහි නැත” (අල් කුර්ආන් 42:48)
  • “සැබැවින්ම කවරෙකු විශ්වාස කර පසුව ප්‍රතික්ෂේප කර ඉන් පසු නැවතත් විශ්වාස කර පසුව පසුව ප්‍රතික්ෂේප කර පසුව ප්‍රතික්ෂේපය වර්ධනය කර ගත්තේද ඔවුනට සමාව දෙන්නෙකු ලෙස හා ඔවුනට මග පෙන්වන්නෙකු වශයෙන් අල්ලාහ් නොවීය.” (අල් කුර්ආන් 4:137)  

ඉහතින් උපුටා දක්වන ලද අල් කුර්ආන් වැකි මගින් ආගමික නිදහස හා හෘද සාක්ෂියේ නිදහස සහතික කොට ඇත. මුහම්මද් තුමාණන්ගේ කාලයේ ඉස්ලාමය අත්හැර යාමේ සිද්ධියක් නබි වදන් ග්‍රන්ථයන්හි සඳහන් වේ. 

“ජාබීර් බින් අබ්දුල්ලාහ් තුමා විසින් වාර්තා කොට ඇති පරිදි එක් කාන්තාරවාසී අරාබි වරයෙකු ඉස්ලාමය වැළඳ ගන්නා බවට මුහම්මද් තුමාණන්ට ප්‍රතිඥා ලබා දුන්නේය. පසුව මෙම අරාබිවරයා උණ රෝගයෙන් පෙළෙන්නට වුයේය. මෙයත් සමග ඔහු මුහම්මද් තුමාණන් ව හමුවී ඔහුගේ ඉස්ලාමය වැළඳ ගැනීමේ ප්‍රතිඥාව අහෝසි කරන ලෙස ඉල්ලා සිටියේය. මෙම අරාබිවරයා දෙවරක් ම පැමිණ තම ප්‍රතිඥාව අහෝසි කරන ලෙස ඉල්ලා සිටියද මුහම්මද් තුමාණන් විසින් එය ප්‍රතික්ෂේප කරන ලදී. ඉන්පසු මෙම අරාබිවරයා මදීනා නගරය අතහැර යන්නට ගියේය. මේ පිළිබඳව අල්ලාහ්ගේ දුතයාණන් පවසා සිටියේ මදීනා නගරය ඌෂ්මකයක් බඳුය. එය අපද්‍රව්‍යයන් ඉවත් කොට පිරිසිදු කරන්නේය යනුවෙනි.” (බුහාරි නබි වදන් ග්‍රන්ථය: 9 වැනි වෙළුම අංක 316 සහ 318) 

මෙහිදී මුහම්මද් තුමාණන් ඉස්ලාමය අතහැර ගිය පුද්ගලයාව ඝාතනය කිරීමට කිසිදු පියවරක් නොගත්තේය. ඇතැමුන් පහත සඳහන් නබි වදන උපුටා දක්වමින් ඉස්ලාමය අතහැර යන්නන් පිළිබඳ වෙනත් අර්ථකථනයක් ලබා දෙති. 

“අබ්දුල්ලාහ් විසින් දන්වා සිටි පරිදි මුහම්මද් තුමාණන් විසින් පහත සඳහන් අයුරු දන්වා සිටින ලදී. ‘අල්ලාහ් හැර නැමදුමට සුදුසු වෙනත් දෙවි කෙනෙකු නොමැති බවත් තමන්ව අල්ලාහ්ගේ දුතයානන් බව සාක්ෂි දැරූ මුස්ලිමයෙකුගේ රුධිරය කරුණු තුනකදී හැර හෙලීමට අවසර නොමැත. ඒවා නම් මනුෂ්‍යය ඝාතනයකදී සම ප්‍රතිචාර දැක්වීමක් ලෙස, විවාහක අයෙකු පරදාර සේවනයෙහි යෙදුනු විට හා ඉස්ලාමයෙන් ඉවත්වී මුස්ලිම් සමාජය අතහැර ගියවිට’ යන මේවාය” (බුහාරි නබි වදන් ග්‍රන්ථය 12 වැනි වෙළුම අංක 6878)  

මෙහිදී අප අවධානය යොමු කළ යුතු කරුණ නම් මෙයට පෙර සඳහන් නබි වදනේ ඉස්ලාමය අතහැර ගිය අයෙකු පිළිබඳ කිසිවක් නොකොට මෙම නබි වදනින් මරණයට පත් කළ යුතු යැයි දැක්වීමෙන් ඒ පිළිබඳ ව අනිවාර්යයෙන්ම විද්වත් විග්‍රහයක් අවශ්‍යය වෙයි. මක්කාවේ සිට මදීනා නගරයට දෙශාන්ත්‍රණය කළ පසු නව ඉස්ලාමීය සමාජය විනාශ කර දැමීම පිණිස යුද මෙහෙයුම් බොහොමයක් ඉස්ලාම් විරෝධීන් විසින් දියත් කරන ලදී. දෙවනුව දක්වා ඇති නබි වදනින් සඳහන් වන්නේ ඉස්ලාමය අතහැර යාම පමණක් නොවී මුස්ලිම්වරුන්ට එරෙහිව අවි ඔසවා කටයුතු කළ අය පිළිබඳ ව බව ඉස්ලාමීය විද්වතුන් බොහොමයක මතය වී ඇත. මෙම මරණ දඬුවම නියම කොට ඇත්තේ ඉස්ලාමය අතහැර ගොස්  රාජ්‍යදොහී  ක්‍රියාවන්හි යෙදෙන්නන්ට බව ඉස්ලාමීය විද්වතුන් බොහොමයක් දන්වා සිටිත්. රාජ්‍යද්‍රෝහී කමට ලංකාවේ නීතිය අනුවත් මරණ දඬුවම නියමිතව ඇත. මේ පිළිබඳ දීර්ඝ විග්‍රහයක් මහාචාර්ය ජමාල් බදාවී විසින් ඉදිරිපත් කොට ඇත. එම විග්‍රහය පහත සඳහන් වෙබ් අඩවියෙන් ලබා ගත හැක. https://kingstonmuslims.ca/is-apostasy-a-capital-crime-in-islam/

මෙම පිළිතුරු ප්‍රමාණයට වඩා දීර්ග වී ඇති හෙයින් අවසාන වශයෙන් ප්‍රියන්ජන් මහතා ඉදිරිපත් කොට ඇති තවත් කරුණක් වෙත අවධානය යොමු කරන්නට කැමැත්තෙමු. 

“ඕස්ට්‍රේලියාවේ හිටපු මුස්ලිම් ආධාරක ජාලයේ සම නිර්මාතෘ සහ ඔවුන්ගේ ට්විටර් වෙබ් අඩවිය වන Heretical Gray හි සම නිර්මාතෘ වන නික්, අල්ලාහ් නොමැතිව අතිශය චමත්කාර වන්නේ මන්දැයි යන්න මෙලෙස පැහැදිලි කරයි. “කිසිම කාන්තාවකට හිජාබය, නිකාබය අඳින්නට බල නොකළ යුතුයි. කාන්තාවකගේ වටිනාකම රෙද්දකින් තීරණය කරන්න බැහැ. මොකද හිජාබය ඉවත් කිරීම නිසා කාන්තාවක් දූෂණයට ලක් විය යුතු දුරාචාරී පුද්ගලයකු බව අදහස් වන්නේ නැහැ. සෑම කෙනෙකුටම තමන් කැමති පරිදි ජීවත් වීමට නිදහස තිබිය යුතුයි. යනුවෙන් ඇය සඳහන් කර තිබේ.”

මෙයට තවත් විග්‍රහයක් ඉදිරිපත් නොකොට වැදගත් ග්‍රන්ථයකින් කොටසක් උපුටා දක්වන්නට කැමැත්තෙමු. 

“ඇඳුම් ඇඳ ගත්තත් හෙලුවැල්ලෙන් ඉන්නා ලෙස පෙනෙන ජනප්‍රිය සංස්කෘතියේ යුවතියන්ගේ අඟ පසඟ ප්‍රදර්ශනය කිරීමෙන් පස්වනක් ප්‍රීතියෙන් පිනා යන්නට ඔවුන්ට අවස්ථා උදාවෙයි. ඇත්තෙන් බැලූ විට මෙය ජනප්‍රිය සංස්කෘතියක්මත් නොව සොසේජස් සංස්කෘතියකි. එසේ නොවේ නම් හෙලුවැලි සංස්කෘතියකි.බොහෝ මාධ්‍යයන් මගින් අවධාරණය කෙරෙන්නේ යම් ජාත්‍යන්තරකරණයක් අවශ්‍යව ඇතැයි යන්නයි. අපේ විලාසිතාවන් ජාත්‍යන්තරකරණය විය යුතුයි. සරම කමිසය ඇඳ එසේ විය නොහැක. නව ඉසවු සොයා යා යුතුය. රෙද්ද හැට්ටෙ ඇඳ ජාත්‍යන්තරකරණය විය නොහැක. ඒවා අවශ්‍ය නම් යම් හෙලුවැලි ස්වරූපයක් ඒවාට ආදේශ කළ යුතු වෙයි. ස්ත්‍රී ස්වරූපයේ බොහෝ තැන් පෙනෙන ලෙස ඇඳීම ජාත්‍යන්තරකරණය වෙත නැගීමට ඇති පියගැට පෙළෙහි යම් පඩි කිහිපයක් නැග්ගා හා සමාන වෙයි. මෙවැනි විසුක දස්සන දකින ජනතාව ඉඳුරන් සන්සුන් කර ගන්නේ කෙලෙසදැ’යි පැණයකි. සිංහල සමාජය සරල අල්පේච්ඡ ජීවිතයකට හුරුව ලබා තිබුණකි. සිංහල ජීවන ක්‍රමයේ මේ සරල සුන්දරකම දූරිභූත වන බවක් දැන් පෙනී යයි. අප සමෘධිමත් විය යුත්තේ ආර්ථික වශයෙන් පමණක් නොව ආධ්‍යාත්මික වශයෙන් මෙන්ම සංස්කෘතික වශයෙන් ද අප සමෘධිමත් විය යුතුයි.” (“සිංහල සමාජය හා සංස්කෘතිය” ගුණසිරි වීරසූරිය පිටු 403 සිට 414 දක්වා ඇති කොටසින් උපුටා ගන්නා ලදී)

මුස්ලිම් නොවන සමාජය කෙතරම් දුරට බටහිර සංස්කෘතිය දෙසට ගමන් කොට තිබේ ද යන්න ඉහතින් විස්තර වෙයි. විශ්ව ගම්මානයක ජීවත්වන අපි මෙලෙස වෙනස්වීම වැලැක්වීම ඉතා දුෂ්කර කාර්යයකි. නමුත් මුස්ලිම් නොවන සමාජය බටහිර සංස්කෘතිය වෙත සීඝ්‍රයෙන් ඇදීයාම හේතුවෙන් අපට දකින්නට ඇත්තේ තම ශරීරය ක්‍රමයෙන් නිරාවරණය කරගැනීමේ විලාසිතා තරඟයක් සමාජය තුල ක්‍රියාත්මක බවයි. මෙය රටට හානිකරය. අවාසනාවට මේ පිළිබඳ බහුතරයක් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ඉතා මවිතකර තත්ත්වයකි. 

තවත් එක් වැදගත් කරුණක් පිළිබඳ එනම් බටහිර ලෝකයේ ඉස්ලාමය ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර එයිනුත් කාන්තාවන් ඉස්ලාමය වැළඳ ගැනීම ඉතාම අධික ලෙස සිදුවන බව කරුණු පහත සඳහන් වෙබ්අඩවි මගින් දැනගන්නට හැකිවේවි. 

https://journals.sagepub.com/doi/full/10.1177/1350506820920912 WHY ARE WESTERN WOMEN CONVERTING TO ISLAM 
https://www.csmonitor.com/2005/1227/p01s04-woeu.html WHY EUROPEN WOMEN ARE TURNING TO ISLAM 
https://www.lehmanns.de/shop/sozialwissenschaften/7163453-9780292713024-women-embracing-islam Women Embracing Islam
තව බොහෝ කරුණු ඉදිරිපත් කිරීමට ඇතත් ලිපිය හිතුවාට වඩා දීර්ඝ වී ඇති හෙයින් මෙයින් නවතා ගැනීමට තීරණය කළෙමි. ආගමික වෛරය වෙනුවට ආගමික අවබෝධය හා සත්‍යය පදනම් කරගත් සංවාදශීලී සමාජයක් නිර්මාණය කරන්නට කටයුතු කරමු. 

“(විශ්වාසවන්තයිනි), අල්ලාහ් හැර කුමන දැයක් ඔවුන් අයදින්නේද එයට නුඹලා අපහාස නොකරවූ.” (අල් කුර්ආන් 6:108)

කර්තෘ: මනෝවිද්‍යා උපදේශක මොහොමඩ් දහලන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *